hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අගෝස්‍තු 23, පෙ.ව. 5:10



වව්නියාව කුඩාකච්චිකොඩිය ප්‍රදේශයේ පිහිටා ඇති ඓතිහාසික තෝණිගල සෙල්ලිපි වසර 20කට පමණ පසුව නැවත පිටපත් කර ගැනීමේ කටයුතු අවසන් වී ඇති බවටත් සෙල්ලිපි වසා දමා තිබූ පස් ඉවත් කොට මහජන ප්‍රදර්ශනයට විවෘතව පවතින බවත් වව්නියාව පුරාවිද්‍යා නිලධාරී කාර්යාලය ඒෂියන් මිරර් වෙත පවසා සිටියා.

යුද්ධය හේතුවෙන් 2002 වසරේදී තෝණිගල සෙල්ලිපිය විනාශ වේ යැයි පැවති අවධානම හේතුවෙන් වැලි සහ පස් යොදා වසා දමා තිබූ අතර පසුව ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලාගේ සහ ප්‍රදේශවාසීන්ගේ දැඩි ඉල්ලීමකට අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් සිදු කරන ලද සාකච්ඡාවකින් අනතුරුව වස දමා තිබූ පස් සහ වැලි ඉවත් කොට නැවත පිටපත් කර ගැනීම සිදු වූ අතර එහිදී සෙල්ලිපියේ අක්ෂර වලට කිසිදු හානියක් සිදු නොවී ඇති බවටද පුරාවිද්‍යා නිලධාරීන් පැවසුවා.

ලාංකේය ඉතිහාසය සම්බන්ධයෙන් මෙන්ම ශ්‍රීලාංකේය ආර්ථික ඉතිහාසය සම්බන්ධයෙන් සුවිශේෂි තොරතුරු රාශියක් මෙම තෝණිගල සෙල්ලිපි මගින් අනාවරණය වෙනවා.

මෙම ගල් තලාවේ ප්‍රධාන සෙල්ලිපියට අමතරව තවත් සෙල්ලිපි දෙකක් පිහිටා තිබෙනවා.

ඊට අමතරව වෘත්තාකාර පුරාවිද්‍යා වියුහ 2ක්, කණු පාදම් සහිත ස්ථානයක් සහ පොකුණු දෙකක් අවට දැකගත හැකියි.

ප්‍රාග් ඓතිහාසික ශිලා මෙවලම් සාධකද ගල් තලාවේ තැනින් තැන විසිර පවතිනවා.

මෙම සෙල්ලිපිය මහසෙන් රජුගේ පුත් ශ්‍රී මේඝ වර්ණාභය රජු (ක්‍රී.ව. 303-331) විසින් කරවා තිබෙනවා.

එහි ආරාම පාලනය, ආගමික චාරිත්‍ර, ධාන්‍ය තැම්පත් කළ වෙළඳ මධ්‍යස්ථානයක පොලී ක්‍රම සහ මුදල් ක්‍රම පිළිබඳ වැදගත් තොරතුරු රාශියක් අන්තර්ගත වෙනවා.

එය වර්තමානයේ බැංකුවකට සමාන ස්ථානයක්.

වී සඳහා 50 % ක පොළියක් ද අනෙක් ධාන්‍ය සඳහා 25% ක පොලියක් ද ගෙවූ බව දැක්වෙනවා.

එසේම මෙම කාලයේ යල, මහ සහ මැද යනුවෙන් කන්න තුනකට වී වගා කළ බව ලිපියේ සඳහන්ව තිබෙනවා.

එමෙන්ම ‘යහිස පවත’ විහාරය වර්තමාන මඩුකන්ද ශ්‍රී දලදා විහාරය බව ඇතැම් විද්වතුන්ගේ පිළිගැනීමයි.

කෙසේ වෙතත් ඓතිහාසික තෝණිගල සෙල්ලිපි මහජන ප්‍රදර්ශනය සඳහා වව්නියාව සිවිල් ආරක්ෂක බලකායේ ආරක්ෂාව සහ මගපෙන්වීම් යටතේ සිදුවන අතරම සෙල්ලිපි දැකබලා ගැනීමට පැමිණෙන ජනතාවට පහසුකම් සැපයීමේදී යම් බාධාවන් පවතින බවටද වාර්තා වෙනවා.

එමෙන්ම තෝණිගල සෙල්ලිපි නියමු සැල්ස්මට මුදල් ප්‍රතිපාදන වෙන්වී නොමැති බවටත් එසේ මුදල් ප්‍රතිපාදන වෙන්වන්නේ නම් ජනතාවට පහසුකම් සපයා සේල්ලිපි ආරක්ෂා කිරීමට විධිමත් සැලස්මක් ක්‍රියාත්මක කිරීමට හැකි බවටද වව්නියාව පුරාවිද්‍යා නිලධාරී කාර්යාලය වැඩිදුරටත් පවසා සිටියා.

වන්නි – රොමේෂ් මධුෂංඛ





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: