hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 මැයි 17, පෙ.ව. 10:02



දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබිය යුතු මුළු හිඟ බදු, දඩ හා පොළී මුදල රුපියල් බිලියන 904ක් යැයි කෝපා කමිටුවේදී හෙළි වී තිබෙනවා.

එය 2022 දෙසැම්බර් 31 දින වන විට අය විය යුතු මුදල වෙනවා.

එමෙන් ම අන්දෝලනයට තුඩු දුන් RAMIS පරිගණක පද්ධතිය නිසි ක්‍රියාකාරී මට්ටමක නොපැවතීම පිළිබඳව ද කමිටුවේ සාකච්ඡාවට ලක් වී තිබෙනවා.

ඒ අනුව, RAMIS සහ Legacy පරිගණක පද්ධතිවලට අදාළව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට 2022 දෙසැම්බර් 31 දින වන විට ලැබිය යුතු මුළු හිඟ බදු, දඩ හා පොළී මුදල රුපියල් 904,342,180,778ක් බව (බිලියන 904) කෝපා කමිටුවේදී අනාවරණය වී තිබෙනවා.

මෙම මුදලෙන් රුපියල් 163,425,093,401ක් (බිලියන 163) අය කළ හැකි ආදායම් වශයෙන් හඳුනාගෙන ඇති බව ත් රුපියල් 740,917,087,377 ක් (බිලියන 740) යම් යම් හේතු මත අය කිරීම් තාවකාලිකව අත්හිටුවා ඇති මුදල් වශයෙන් හඳුනාගෙන ඇති බව ත් මෙහිදී හෙළි වී තිබෙනවා.

එසේ ම, RAMIS සහ Legacy යන පරිගණක පද්ධති දෙක යටතේ ම අයවිය යුතු මුළු හිඟ බදු මුදල් වශයෙන් මෙම මුදල හඳුනාගෙන ඇති බව ද මෙහිදී විගණකාධිපතිවරයා විසින් පෙන්වා දුන්නා.

මෙම හිඟ බදු මුදලින් අය කළ හැකි ආදායම් මුදල අය කර නොගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වුණා.

මෙම කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න නිර්දේශ කළේ, අය කළ හැකි ආදායම් වශයෙන් හඳුනාගෙන ඇති හිඟ බදු මුදල් කොටස් වශයෙන් හෝ අය කර ගන්නා ආකාරය පිළිබඳ දින වකවානු සහිතව තොරතුරු ඇතුළත් වාර්තාවක් කෝපා කමිටුවට ලබා දෙන ලෙසයි.

රුපියල් බිලියන 904 මුළු හිඟ බදු මුදල පිළිබඳව වෙන් වෙන් වශයෙන් විස්තර සහිතව වාර්තාවක් ලබාදෙන ලෙස ද සභාපතිවරයා නිර්දේශ කළ අතර එම වාර්තාවේ බදු මගහැරී ඇති ආකාරය සහ ඒවාට හේතු විස්තරාත්මකව දක්වා තිබිය යුතු බව ද සඳහන් කළා.

මේ පිළිබඳ අනාවරණය වූයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වර්තමාන කාර්ය සාධනය සහ මෙම දෙපාර්තමේන්තුව 2022 නොවැම්බර් 28 දින කෝපා කමිටුවට කැඳවා ලබා දුන් නියෝග ක්‍රියාත්ම කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ සභාපතිත්වයෙන් පසුගියදා (මැයි 12) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

එසේ ම, RAMIS පරිගණක පද්ධතිය නිසි ක්‍රියාකාරී මට්ටමක නොපැවතීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර මෙම පද්ධතිය සකස් කළ පසු ක්‍රියාත්මක කිරීමට පුහුණු නිලධාරීන් නොමැතිවීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. එබැවින් ඒ සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී සඳහන් වුණා.

එසේ ම, 2022.11.28 දින පැවැති කෝපා කමිටු සාකච්ඡාවට අනුව 2022 ජූනි 30 වන විට රුපියල් 2,488,003,615 (බිලියන 2.4) වටිනා අගරු වූ චෙක්පත් පැවතීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. විශේෂයෙන්ම බදු මුදල් ගෙවීමේදී 90% පමණ ලංකා බැංකුව මාර්ගයෙන් බදු මුදල් ගෙවීම සිදු කරන බව ත් මෙසේ ගෙවන බදු මුදල් ගෙවූ දින අනුමත වූ බව පෙන්වුව ත් පසුදින අගරු චෙක්පත් ලෙස පෙන්වන බව ත් මෙහිදී පැමිණ සිටි නිලධාරීහු පෙන්වා දුන්නා.

මේ අනුව, කාරක සභාවේ සභාපතිවරයා ලංකා බැංකුවේ සභාපතිවරයා කමිටුව අතරතුර දීම දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගනිමින් සාකච්ඡා කොට අදාළ උපදෙස් ලබා දීම ද මෙහිදී සිදු වුණා.

තව ද කැසිනෝ ව්‍යාපාරය සඳහා දළ එකතුව මත බදු අය කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වුණා.