hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 10:56



“නංගි වැඩ කරපු නිවසේදී ඇයට යම්කිසි කරදරයක් සිදු වී ඇති බවත් ඇය ගෙදර ආවොත් එම දේවල් හෙළි වේ යැයි බියෙන් තම නැගණියට මෙම සිදුවීම සිදු වී ඇතැයි” රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනි ඇවිලී මිය ගිය ඉෂාලිනී නම් දැරියගේ සහෝදරයා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේ ඊයේ (20) මරණ පරීක්ෂණයේ සාක්කි ලබා දෙමින් ප්‍රකාශ කර තිබෙනවා.

සිද්ධියට අදාළව ඊයේ අධිකරණය හමුවේ මරණ පරීක්ෂණ සාක්ෂි කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙලෙස අධිකරණය හමුවේ සාක්ෂිකාර විග්නේශ්වරන් තිරු ප්‍රසාද් ප්‍රකාශ කර සිටියා.

“රිෂාඩ් බදියුදීන් යන අයගේ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවෙසේ තමයි ඇය සේවයේ යෙදී සිටියේ. ඒ අතර වාරයේ ඇයට කරදර සිදු වුණා කියලා ඇය අම්මට කතා කරලා කියලා තිබ්බා. 2021.07.03 වන දින අම්මට බොරැල්ල පොලිසියෙන් කෝල් එකක් ආවා නංගි ඉස්පිරිතාලෙ කියලා. මම ගියා නංගිව බලන්න ඉස්පිරිතාලෙට. මට බලන්න දුන්නේ නැහැ. එම මාසෙ ම පහළොස් වන දා මගේ නැගණිය මියගියා.

මගෙ නංගි පිච්චිලා මිය ගියේ. නංගි අම්මට කතා කරල කරදරයි කියලා කියනකොට 2021 ජූලි 6 වන දා ඇවිල්ලා අම්මා එක්කගෙන යනවා කියලා නංගිට කිව්වා. ඒ අතරවාරයේ තමයි ජූලි 3 වන දා නංගි පිච්චිලා තියෙන්නේ. නංගි වැඩ කරපු නිවසේ නංගිට කරදර වෙලා තියෙනවා. නංගි ගෙදරට ආවොත් මේ දේවල් හෙළි වෙයි කියලා බයට තමයි නංගිට මෙහෙම කරලා තියෙන්නේ කියලා මම හිතනවා. පොලිසියට කටඋත්තරයක් ඒ සම්බන්ධයෙන් මා ලබා දීලා තියෙනවා.”

අනතුරුව එම දැරියගේ මව අධිකරණය හමුවේ සාක්ෂි ලබාදෙමින් මෙලෙස පැවසුවා,

“මගේ දියණිය සේවය කරන කාලය අතරතුරදී ඇයට කරදරයි කියලා ඇය මට කතා කළා. ඇය අන්තිමට කතා කරපු වෙලාවේ මම ඇයට කිව්වේ ඔයා ඉන්න මං ඇවිල්ලා ඔයාව එක්කගෙන යන්නම් මම ඒ වෙනුවට වැඩ කරන්නං කියලා. දුව ඒ ගෙදර සේවයට ගියාට පස්සේ එක දවසක්වත් අපේ ගෙදර ඇවිල්ලා නැහැ නිවාඩුවට. අපි එයාව බලන්න එහි ගිහිල්ලත් නැහැ. පස්සේ දැනගත්ත දුව මෙහෙම පිච්චිල ඉස්පිරිතාලෙ ඉන්නවා කියලා. අපි බලන්න ගියා එයාව.

අපි ඉස්පිරිතාලෙට ගිහිල්ලා බැලුවා. එයාට මැෂිම දාලා තිබ්බේ. ජූලි 15 වන දා මගේ දුව මියගියා. මං මරණ පරීක්ෂණයට සහභාගි වුණේ නෑ. මගේ දුව ගෙදරින් ගියේ ඉතාමත් හොඳින්. එහෙම ඉතාමත් ම හොඳින් ගිය දුවට මොනවා වුණා ද, කොහොමද වුණේ කියන්න මම දන්නේ නැහැ. එයා පිච්චිලා තියෙනවා කිව්වා. ඒක කොහොම ද? වුණේ කියල මම දන්නේ නැහැ. ගෙදර සිටින කාලයේදී මගේ දුවට කිසි ම ප්‍රේම සම්බන්ධතාවක් තිබුණෙත් නෑ.”

නඩුවේ වැඩිදුර මරණ පරීක්ෂණ සාක්ෂි කැඳවීම ලබන ඔක්තෝබර් මස 4 වන දින දක්වා කල් තැබුවා.