hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 16, පෙ.ව. 11:09



ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දෙමළ ජනතාවට අලුත් කාරණාවක් නොවන බව ත් දෙමළ ජනතාවට ඇති ඊට වඩා බරපතළ ගැටලු සම්බන්ධයෙන් දකුණේ ජනතාව සුබවාදීව බැලීමට සූදානම් නම් පමණක් එක්ව අරගල කිරීම සම්බන්ධයෙන් සලකා බලන බව ත් යාපනය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අලගරාසා විජයකුමාර් මහතා පැවසුවා.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිසක් ඉකුත් දා යාපනයට ගොස් යාපනය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය හා පැවත්වූ සාකච්ඡාව පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්පූර්ණයෙන් ම අහෝසි කර ගැනීමට සියලු විශ්වවිද්‍යාලවල සහයෝගය අවශ්‍යව ඇතැයි වසන්ත මුදලිගේ තම සංගමයෙන් ඉල්ලා සිටි බව විජය කුමාර් මහතා සඳහන් කළා.

තව ද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන සියලු විරෝධතාවලට යාපනයේ විශ්වවිද්‍යාලයේ සහයෝගය ලැබී නැතැයි මුදලිගේ කියා සිටි බව ද ඔහු පැවසුවා.

වසන්ත මුදලිගේගේ, මෙම අදහස් දැක්වීම් සම්බන්ධයෙන් තම සංගමය ඔවුන් වෙත ප්‍රතිචාර දක්වා සිටි බව පැවසූ විජය කුමාර් මහතා, දෙමළ ජනතාව දීර්ඝ කාලයක සිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන්නැයි ඉල්ලා සිටියත් එම ඉල්ලීම දිගින් දිගට ම ප්‍රතික්ෂේප කළ ආණ්ඩු එම පනත දෙමළ ජනතාව මර්දනයට යොදා ගත් බව මුදලිගේ මහතා ඇතුළු පිරිසට පෙන්වා දුන් බව කියා සිටියා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යන්න දෙමළ ජනතාවට සමාන්‍ය කාරණයක් බවට පත්ව ඇති බව පෙන්වා දුන් විජය කුමාර් මහතා, දෙමළ ජනතාවට ඊට වැඩි බරපතළ ගැටලු රැසක් ම පවතින බව ද කියා සිටියා.

දෙමළ ජනතාව මුහුණ දෙනු ලබන ගැටලු දකුණේ ජනතාව වෙත අවබෝධ කරදීමට දකුණේ විශ්වවිද්‍යාලවල සහය අවශ්‍ය බව තම සංගමය මුදලිගේ මහතා ඇතුළු පිරිසගෙන් ඉල්ලා සිටිය බව කී විජය කුමාර් මහතා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික පරිහානියට පැවති යුද්ධය ප්‍රධාන හේතුවක් වූ බව පිළිගන්නේදැයි තමන් ඔවුන්ගෙන් ප්‍රශ්න කර සිටි බව ද සඳහන් කළා.

එබැවින් මෙරට දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් දකුණේ විශ්වවිද්‍යාල සංගම් අවබෝධයෙන් ඒ වෙනුවෙන් හඬ අවදි කිරීමට සූදානම් නම් පමණක් තම සංගමයද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ අරගලයන්ට සහයෝගය ලබා දීම සම්බන්ධයෙන් සලකා බැලීමට සූදානම් බව සිය සංගමය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නියෝජීතයන් පිරිස වෙත අවධාරණය කර සිටි බව ද හෙතෙම වැඩිදුරට ත් පැවසුවා.