hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 මැයි 24, ප.ව. 3:12



යාපනයේ සිට කොළඹ දක්වා දිවයිනේ ප්‍රදේශ රැසක පුද්ගලයින් 67 දෙනෙකු නීති විරෝධීව විදෙස් රටකට සංක්‍රමණය වීමට ගත් උත්සහයකදී ඊයේ (23) ත්‍රීකුණාමලය මුහුදු සීමාවේදී නාවික හමුදා භාරයට ගෙන ඇති බව ඒෂියන් මිරර් වෙත වාර්තා වෙනවා.

ත්‍රීකුණාමලය නාවික හමුදා නිලධාරීන් පිරිසක් සහ නිලාවේලි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඒකාබද්ධව සල්ලි සාම්පල්තිව් ප්‍රදේශයේදී සිදුකරන ලද සෝදිසියකදී නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් විදෙස් රටකට සංක්‍රමණය වීම සඳහා වාහන මගින් ගමන් කරමින් සිටි පුද්ගලයින් 12 දෙනෙකු සහ ත්‍රී රෝද රථ දෙකක්, කැබ් රථයක් සහ වෑන් රථයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර ත්‍රීකුණාමලය මුහුදු සීමාවේදී බහුදින මුහුදු යාත්‍රාවක් උපයෝගි කරගනිමින් විදෙස් රටකට සංක්‍රමණය වීම සඳහා උත්සහ ගනිමින් සිටි සංක්‍රමණිකයින් 55 දෙනෙකු නැගෙනහිර නාවික විධානයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

එහිදී අදාල සංක්‍රමණිකයින් රැගෙන යාමේ ජාවාරමේ යෙදී සිටි පුද්ගලයින් 05 දෙනෙකු ඇතුලු පිරිමි පුද්ගලයින් 45 දෙනෙක්, කාන්තාවන් 7 දෙනෙක් සහ කුඩා දරුවන් තිදෙනෙක් එමම බහුදින ධීවර යාත්‍රාෙව් ගමන් කරමින් සිටියදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදා භාරයට ගනු ලැබූ සංක්‍රමණීකයින් යාපනය, ත්‍රීකුණාමලය, මඩකලපුව, පුත්තලම, අම්පාර, රත්නපුරය, ගම්පහ සහ කොළඹ යන ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 03 සිට අවුරුදු 55 ක් දක්වා වයසැති පුද්ගලයින් වෙයි.

එම පිරිස් ඉන්දියාවට හෝ වෙනත් රටකට සංක්‍රමණය වීමට උත්සහ ගනිමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බවට නාවික හමුදාව සැකපල කර සිටින අතර එම පිරිස් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා නිලාවේලී සහ උප්පුවේලි පොලිස් ස්ථානයන් වෙතට මෙන්ම ත්‍රීකුණාමලය වරාය පොල්ස් ස්ථාන වෙතටද භාරදීම පියවර ගෙන ඇතැයි නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවා.