hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 අප්‍රේල් 13, පෙ.ව. 9:23



රිළවුන් ලක්ෂයක් චීනයට යැවීම සම්බන්ධයෙන් කිසියම් ආකාරයක හෝ තීරණයක් ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශයට නීත්‍යනුකූල බලයක් නැතැයි ජේ‍යෂ්ඨ පාරිසරික නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා පැවසුවා.

වන සත්ත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත ප්‍රකාරව උන් පිළිබඳව තීරණ ගැනීමේ අයිතිය ඇත්තේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පමණක් යැයිද ඔහු සඳහන් කළා.

එමෙන්ම එම ආයතනය ඇත්තේද වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශය යටතේ මිස කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ නොවන බවද හෙතෙම අවධාරණය කර සිටියා.

වියළි කලාපයේ හමුවන Macca sinica sinica නම් දර්ශීය උප-විශේෂය සහ තෙත් කලාපයේ මෙන්ම කදුකරයේ ඇතැම් ප්‍රදේශවලත් හමුවන Macca sinica aurifron නම් උප-විශේෂය මෙරට හමුවන ප්‍රධාන විශේෂ බවද ඔහු කියා සිටියා.

ඉන් වැඩිම ව්‍යාප්තියක් සහ ඉහළ ගහන ඝනත්වයකින් යුතු වන්නේද, වගාවන්ට වැඩිම හානියක් කරන්නේද දර්ශීය මැකාකා සයිනිකා සයිනිකා (Macca sinica sinica) නම් උප-විශේෂය බව පෙනී යන්නේ යැයිද ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා පැවසුවා.

ඒ කෙසේ වුවත් මෙරටදී හමුවන රිළවාගේ උප-විශේෂ පිළිබඳව සහ උන්ගේ ව්‍යාප්තිය ඇතුළු තවත් කරුණු සම්බන්ධයෙන් මේ වනතුරුත් නිසි අධ්‍යයනයක් සිදු කර නොමැති බවට ඔහු චෝදනා කළා.

එනිසා රිළවුන් විශාල ප්‍රමාණයක් අපනයනය කරන්නේ නම් ඔවුන් ලබා ගන්නේ කිනම් ප්‍රදේශවලින්ද, එම ප්‍රදේශයෙන් අල්ලා ගන්නා වදුරන් ප්‍රමාණය, එම සතුන් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමෙන් මතුවිය හැකි තත්ත්වයන් පිළිබඳවද සොයා බැලිය යුතු බව හෙතෙම සඳහන් කළා.

චීන සත්ත්වෝද්‍යාන වෙත නම් මෙරට සිටින රිළවුන් ලක්ෂයක් ලබා දෙන්නේ අඩු තරමේ සතුන් දෙදෙනකු බැගින් හෝ රඳවා තැබිය හැකි සත්ත්වෝද්‍යාන පනස්දාහක්වත් තිබිය යුතු බව පරිසර හා සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක ආචාර්ය රවින්ද්‍ර කාරියවසම් මහතා පැවසුවා.

සත්ත්වෝද්‍යානවල ප්‍රදර්ශනයට යැයි පවසමින් වුවත් ඔවුන් ඉල්ලන්නේ මෙරටට අවේණික රිළවුන් නිසා උන් ලබාදීම මෙරට සතුන්ගේ ජාන පරම්පරා අනතුරේ හෙළීමක් බවද ඔහු අවධාරණය කළා.

මෙරටට ආවේණික රිළවුන් මිනිසාට බොහෝ සමානකමක් දක්වන නිසා චීනයට රැගෙන යන රිළවුන් සායනික අත්හදා බැලීම් සඳහා වුවද යොදා ගැනීමේ අවදානමක් පවතින බවද හෙතෙම පෙන්වා දුන්නා.

එම සතුන් එකෙක් දෙන්නෙක් නොව ලක්ෂයක්ම එකවර ඉල්ලා සිටීම තුළ යම් සැඟවුණු අරමුණක් පවතින්නේද යන්න සැක සහිත යැයිද ඔහු සඳහන් කළා.