hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 09, ප.ව. 7:45



ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ ඉදිරිපත් කර ඇති කරුණු සම්බන්ධයෙන් පරස්පර තත්ත්වයක් උද්ගතව තිබෙන බව ඔහුගේ පවුලේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අද (09) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සඳහන් කළා.

ශාෆ්ටර්ගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය හමුවේ කැඳවූ අවස්ථාවේ දීයි ජනාධිපති නීතිඥවරයා මේ බව කියා සිටියේ.

එහිදී කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥවරයා අධිකරණ වෛද්‍ය නිලධාරී රුහුල් හක් විසින් මෙම මරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මුල් වාර්තාවේ මරණයට හේතුව ලෙස, තන්තුවකින් ගෙල ”‍සිර කිරීමෙන්”‍ සිදු වූ මරණයක් බවට වාර්තා කර තිබූ බව පෙන්වා දුන්නා.

එහෙත් එම වෛද්‍යවරයා විසින් ඉදිරිපත් කළ සම්පුර්ණ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ මරණයට හේතුව වශයෙන් තන්තුවකින් ගෙල ”‍සිරකර”‍ ගැනීමෙන් සිදු වූ මරණයක් ලෙස වාර්තා කර ඇති බවත් පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මෙය පරස්පර තත්ත්වයක් බවයි කියා සිටියේ.

එමෙන්ම ආහාර සමඟ සයනයිඩ් නමැති විෂ ශරීරගත වී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වුව ද, මරණකරුගේ ශරීරයේ තිබූ ලක්ෂණ පරීක්ෂා කිරීමේදී ඒ පිළිබඳ නිගමනයකට එළැඹීම ගැටළු‍සහගත බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

මෙවැනි පරස්පරතා සහිත වාර්තා පදනම් කරගනිමින් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව අධිකරණයට නිගමනය කිරීම අපහසු බවත් ඒ පිළිබඳව වැඩිදුර සලකා බලන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

එම වෛද්‍යවරයා වෛද්‍ය සේවයේ නිරත වීම මාස 08කට තහනම් කිරීමට පසුගිය දෙසැම්බර් මස 20 වනදා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තීරණය කර ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඊට මෙම සිද්ධිය හා සම්බන්ධයක් නොමැති බව ද කියා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ එම සිද්ධියට අදාළ අවසන් පරීක්ෂණ වාර්තාව මාර්තු මස 8 වනදා හෝ ඊට පෙර අධිකරණය හමුවේ ගොනුකරන ලෙසයි.

එම අවසන් පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් අනතුරුව මෙම මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ නියෝගය තමා ප්‍රකාශයට පත්කරන බවත් මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ දී සඳහන් කළා.