hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 16, පෙ.ව. 9:16



බොරැල්ල සුසාන භූමිය තුළදී ගෙල සිර වන සේ පිරිසකගේ කෲර වධහිංසාවට ලක්වූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්නර් මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (15) රාත්‍රී මියගිය බව බොරැල්ල පොලිසිය පැවසුවා.

මියයන විට ඒ මහතා 51 හැවිරිදි වියේ පසු වුණා.

රුපියල් කෝටි ගණනාවක ණය මුදලක් ලබාදීමට නියමිත පුද්ගලයකු හමුවීම සඳහා යන බව බිරිඳට පවසමින්  කුරුඳුවත්ත  මල් පාර නිවසින් සභාපතිවරයා ඊයේ (15) දහවල් පිටත්ව ගොස් තිබූ බව පොලීසිය පැවසුවා.

ඔහුගේ බිරිඳ මද වේලාවක දී ඔහුට දුරකථන ඇමතුම් ලබා ගෙන ඇති අතර සභාපතිවරයාගේ දුරකථනය ක්‍රියා විරහිත ව තිබී ඇති අතර බිරිඳ ජංගම දුරකථනයට ඔහු බොරැල්ල සුසාන භූමිය තුළ රැඳී සිටින බවට සංඥා ලැබී ඇතැයි පොලිසිය සඳහන් කළා.

වහා ක්‍රියාත්මක වූ සභාපතිවරයාගේ බිරිඳ සමාගමේ විධායක නිලධාරියකුට ඒ බව පවසා බොරැල්ල සුසාන භූමිය වෙත එවා ඇති අතර ඔහු පැමිණ කළ සොයා බැලීමේදී සභාපතිවරයා පැමිණි මෝටර් රථයේ රියදුරු අසුන මත ඔහුගේ අත් දෙක ගැට ගසා ගෙලට වයරයක් දමා සිරකර තිබෙන අයුරු දැක තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසුවා.

වහා ක්‍රියාත්මක වූ විධායක නිලධාරියා සුසාන භූමියේ කම්කරු සේවකයකුගේ උදව් උපකාර ඇතිව සභාපතිවරයාගේ අත් දෙක සහ ගෙල තද වන ලෙස ගැටගසා තිබූ වයර් ඉවත්කර ඔහු කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ බව පොලිසිය සඳහන් කළා.

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර  ලබමින් සිටි සභාපතිවරයාගේ කිසිදු ප්‍රකාශයක් ගැනීමට නොහැකි වන ලෙස ඔහු දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසුවූ බවත් ඊයේ රාත්‍රී 11.30 ට  පමණ ඔහු මියගිය බවත් රෝහල් ප්‍රකාශකයකු පැවසුවා.

සභාපතිවරයාගේ මෝටර් රථය අසල සිට නාඳුනන පුද්ගලයකු පිටත් වන අයුරු සුසාන භූමියේ සිටි කම්කරු සේවකයෙකු දැක තිබූ බව පොලිසිය පවසනවා.

ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයෙකු රුපියල් කෝටි ගණනාවක ණය මුදලක් සභාපතිවරයාට ලබාගෙන තිබෙන අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත පැමිණිලි තුනක්ද සභාපතිවරයා සිදුකර ඇති  බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

කිසියම් පිරිසක් එක්ව සභාපතිවරයා පැහැරගෙන සුසාන භූමිය වෙත රැගෙන විත් මෙලෙස කෲර වද හිංසා කර ගෙල සිර කිරීම හේතුවෙන් ඝාතනය වන්නට ඇති බව බොහෝ දුරට සැක කළ හැකි යැයි උසස් පොලිස් නිලධාරියකු පැවැසුවා.

බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ජේ.එම්.ආර් සමරසිංහ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වෙනවා.