hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 27, ප.ව. 12:28



ඩුබායි රටේ ගෘහ සේවයට යවන මුවාවෙන් කාන්තාවන් සිරියාවේ රැකියා සඳහා හොර රහසේ පිටත් කරන කූට මිනිස් ජාවාරමක තොරතුරු මහනුවර සාමදාන ආයතනය විසින් හෙළි කරගෙන තිබෙනවා.

ඒ අනුව මේ මිනිස් ජාවාරම්කරුවෝ දිවයින පුරා දුගී පවුල්වල කාන්තාවන් හා තරුණියන් හට ඩුබායි රටේ රැකියා ලබාදෙන මුවාවෙන් ගුවන් ගමන් බලපත්‍ර ඇතුළු සියලු ලියකියවිලි වංචනිකව සාදා සිරියාවට යවන බව ද මේ වන විට ද ශ්‍රී ලංකාවේ කතුන් සියයකට ආසන්න පිරිසක් එම රටේ දහදුක් විඳිමින් සිටින බවද වෙනත් රටවල්වල කාන්තාවන්ද දහස් ගණනක් මේ ජාවාරමට හසුව සිරියාවේ රැඳී සිටින බවද එම රටේම බේරී ශ්‍රී ලංකාවට නැවත ආ තරුණියෝ පවසනවා.

මෙම ජාවාරමට හසුවී සිරියාව රැගෙන ගොස් ඇති 22 හැවිරිදි නිල්මිණි මධුෂානි චන්ද්‍රදාස පවසන්නේ තමා ඩුබායි රටට රැගෙන යන බව පවසා ඩුබායි රටෙන් සිරියාව වෙත රැගෙන ගොස් එම රටේ නිවාස වල වැඩ කිරීම සඳහා යෙදවූ බවත් මෙහිදී සිදුවූ පහරදීම්, තාඩන, පීඩන, අඩත්තේටම් පිළිබඳව එම රටේ මෙන්ම ශ්‍රී ලංකාවේ වගකිවයුතු නිලධාරීන් වෙත පැමිණිලි කළ ද මේ දක්වාම කිසිදු හෝ සාධාරණයක් ඉෂ්ට වූ බවයි.

දෛනිකව පැය 22 ක් පමණ තම සේවය ලබා ගන්නා බවත් කිසිදු වැටුපක් නොගෙවෙන එම රටවල හාම්පුතුන් වැටුප් ඉල්ලූ කල්හි දරුණු වධ හිංසා කොට පහරදීම් සිදු කරන බවත් එම ගෙහිමි කාන්තාවක විසින් තමාගේ මුළු ශරීරයට වැසිකිලි සෝදන විෂබීජ නාශක හැලූ බැවින් මේ වන විට අක්ෂි දුර්වල වී ඇති බවත් ඇය සඳහන් කළ අතර මේ පිළිබඳව මහනුවර සාමදාන ආයතන දැනුවත් කිරීමෙන් පසු ඔවුන් තමා නැවත ලංකාවට ගෙන ඒමට කටයුතු කළ බවත් මේ වන විට සිරියාවේ සිරවී සිටින අනිකුත් ශ්‍රී ලාංකික කාන්තාවන් ගෙන්වාගැනීමට රජය මැදිහත් විය යුතු බවත් ඇය පවසනවා.

මෙහිදී අදහස් පළ කළ 30 හැවිරිදි නාගලිංගම් ජෙයලක්ෂ්මි සඳහන් කළේ තමා මෙම මිනිස් ජාවාරම් කරුවන්ට හසු වී සිරියාවට ගොස් දස දුක් විඳි බවයි.

වසරකට ආසන්න කාලයක් සේවය කළත් කිසිදු වැටුපක් නොලද බවත් ලැබුනේ ගුටිබැට පමණක් බව සඳහන් කළ ඇය කියා සිටියේ හාම්පුතුන් විසින් යතුරුපැදියක රත්වූ සයිලන්සරයකට තමා අත තද කොට දැමූ බවත්, තමාගේ පිටේ විශාල ප්‍රමාණයක් පුච්චා දමා පහරදී අත කඩා දැමු බවත් මේ දක්වාම තමන්ට නිසි ප්‍රතිකාරයක් නොලද බවත්ය.

සාමදාන ආයතනය මැදිහත්ව තමා ලංකාවට ගෙන්වූ වුවද මෙම  මිනිස් ජාවාරමට හසුවූ ශ්‍රී ලාංකික සහ ආසියානු රටවල කාන්තාවෝ විශාල ප්‍රමාණයක් සිරියාවේ දහදුක් විඳින බවද ඇය පවසනවා.

සාමදාන ආයතනයේ මිනිස් ජාවාරම් නැවතීමේ අංශයේ ප්‍රධානී සරත් දුර්වල මහතා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය, අපරාධ විමර්ශනය ඇතුළු වගකිවයුතු සෑම අංශයකටම මේ වනවිට පැමිණිලි කොට ඇතත් මේ දක්වාම නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවයි.