hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අගෝස්‍තු 18, පෙ.ව. 5:59



සංචාරක වීසා ලබාගෙන විදේශ රැකියා සදහා ශ්‍රමිකයින් යැවීමේ ජාවාරම වැලැක්වීම සදහා විශේෂ විමර්ශන ක්‍රියාවලියක් ආරම්භ කිරීමට කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ගුවන්තොටුපොල සහ ගුවන්තොටුපොල සේවා සමාගම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධ කරගනිමින් මෙම විශේෂ විමර්ශන ක්‍රියාවලිය සිදු කරන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

මෙම ජාවාරම්වලට අදාළ සැකකරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.

සංචාරක වීසා ලබාගෙන විදේශ ගතවී රැකියා ලබාගැනීමට අපේක්ෂා කරන ශ්‍රමිකයින් නොයෙක් හිංසනයන්ට ලක්වීම සම්බන්ධයෙන් ලැබුණ තොරතුරු මත පදනම්ව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පියවර ගැනීමට තීරණය කළ බවයි ඔහු කියාසිටියේ.

සංචාරක වීසා ලබාගෙන රැකියා සදහා ශ්‍රමිකයින් පිටත් කර යැවීමේ ජාවාරම්වලට සම්බන්ධ ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීමට කටයුතු කරන අතර ඒ සඳහා දායකත්වය ලබාදෙන නිලධාරීන්ට ත්‍යාග මුදල් ලබාදීමටද සැලසුම් කර ඇතැයි විදේශ රැකියා අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මේ අතර ගුවන්තොටුපොල හරහා විදේශ ගතවන ශ්‍රමිකයින්ට ගුවන්තොටුපොලේදී ඉහළ ගරුත්වයක් ලබාදීමටත්, එහිදී වැඩි පහසුකමක් ලබාදීමටත් විශේෂ පිවිසුමක් සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විශේෂ කවුන්ටරයක් හඳුන්වා දීමට ද සැලසුම් කර තිබෙනවා.

ලබන සැප්තැම්බර් මස පළමුවැනිදා සිට මෙම කවුන්ටරය විදේශගතවන සහ විදේශ රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රමිකයින් සදහා විවෘත කෙරෙනු ඇති.

එමෙන්ම විදේශ රැකියාවක් සදහා පිටත්ව යාමේ අපේක්ෂාවෙන් ගමන් බලපත්‍රයක් ලබාගැනීමට අපේක්ෂා කරන පිරිස් සදහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විශේෂ කවුන්ටරයක් ලබන සඳුදා සිට විවෘත කිරීමට ද කටුයතු කරන බවයි අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කියාසිටියේ.