hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 10, පෙ.ව. 10:19



කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඊයේ (09) පස්වරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වුණා.

ඊයේ රාත්‍රී 8.00ට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වන ලෙස අභියාචනාධිකරණය ඊයේ ඔහුට නියෝග කළා.

තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය මෙම නියෝගය ලබා දුන්නා.

ගාලු මුව‍දොර විරෝධතාකරුවන්ට මැයි 9 වනදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා පෙරේදා (08) වරෙන්තුවක් ද නිකුත් කර තිබුණා.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහි නඩු විභාගය සඳහා ඔහු ලබන බදාදා දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු වෙනවා.

ඊට අමතරව, ඔහු ඉදිරිපත් කළ රිට් පෙත්සම් විභාගය ලබන 21 වන දා ආරම්භ කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙසෙඅ අදහස් දක්වා සිටියා,

“මාධ්‍යට කතා කරන එක ඒ තරම් හොඳ නැහැ නඩුවක් තියෙන වෙලාවේ. සාධාරනියත්වය ඉටු වෙන්න ඕනේ. ඕගොල්ලන්ගේ මාධ්‍ය සමහරක් මගේ කතාව එඩිට් කරලා අමාරුවේ දාලා. ඉඩ කඩම් ඔක්කොම ගිනි තිබ්බේ මගේ කතාව එඩිට් කරපු නිසා. හරිම කණගාටුයි. මම එතනින් එහා දෙයක් කියන්නේ නැහැ.”