hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 28, පෙ.ව. 9:34



ජාතික ජනබලවේගය පෙරේදා (26) කොළඹදී පැවැත්වූ විරෝධතාවට පොලිසිය එල්ල කළ ජල හා කඳුළුගෑස් ප්‍රහාරයට ලක්ව තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි ජාතික ජනබලවේගයේ නිවිතිගල ප්‍රාදේශීය සභා අපේක්‍ෂක නිමල් අමරසිරි මහතා ඊයේ (27) මියගියා.

61 හැවිරිදි එක් දරු පියකු වූ නිමල් අමරසිරි මහතා රාජ්‍ය වැවිලි සංස්ථාවේ හිටපු පරිපාලන නිලධාරියෙක්.

කඳුළු ගෑස් උණ්ඩයක් ඔහුගේ හිස ප්‍රදේශයට වැදී අමරසිරි මහතා බරපතළ තුවාල ලැබ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා.

මියගිය අමරසිරි මහතාගේ පුතණුවන් මේ වන විට විදෙස්ගතව සිටින අතර බිරිඳ අසනීප තත්ත්වයේ පසුවෙනවායි.

හෙතෙම මෙවර නිවිතිගල ප්‍රාදේශීය සභාවට මොරගල්ල කොට්ඨාසයේ සමානුපාතික ලැයිස්තු අපේක්‍ෂක ලෙස මැතිවරණයට තරග කිරීමට නියමිතව සිටියා.

මෙම විරෝධතාවයට අමරසිරි මහතා සමඟ එකට ගිය අයෙක් සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා සිටියා,

“ගෙදර ඉදලම අපි දෙන්නා එකටමයි ගියේ. සලාකා එක හරියෙදි කදුළු ගෑස් ප්‍රහාරය ආවා. කඳුළු ගෑස් වැදුන ගමන් එයා කොහේ ගියාද දන්නේ නැහැ. ඊට පස්සේ මම නිමල් මහත්තයට කෝල් එකක් දුන්නා. කෝල් එකට විනාඩි තුනකට විතර පස්සේ එයා එතනට ආවා. ඔසුසලේ තියෙනවා අලුතින් හදපු ගොඩනැගිල්ලක්. ඒක ඇතුලට එයා රිංගලා එහෙමම ඒක ඇතුලෙ වැටුනලු. වැටිලා එතනම වමනේ ගියාලු. ඊට පස්සේ මට කිව්වා මට අමාරුයි අපි දෙන්නා බීම එකක් බොන්න යමු කියලා. ඒකට ගිහිල්ලා වාඩිවෙලා ඉඳලා මම අයිස්ක්‍රීම් දෙකකුත් ගෙනාවා. ඒක අපි දෙන්නා එක්ක කාලා වොෂ් රූම් එකට ගිහිල්ලා ඇවිල්ලා ටිකක් වෙලා ඉන්නකොට අනුර කුමාර සහෝදරයාගේ කතාව තිබුණා.”

“එතනට ගිහිල්ලා අපි ඒ කතාව ඉවර වෙනකම් ඇහුවා. අහලා ඊට පස්සේ ආයෙ ඔසුසල ඉස්සරහට ඇවිල්ලා අමාරුවෙන් බිම වාඩි වෙලා හිටියා. මට අමාරුයි නිමල් අපි බස් එකට යමු කිව්වා. බස් එකේ තියෙන්නෙ ග්‍රහලෝකාගාරය ළඟ කිව්වා. එතනට අපි පයින් හොයාගෙන ගියා යන්න වාහන තිබුණෙ නැහැ. ඊට පස්සෙ නිදහස් චතුරස්‍රය හරියට වගේ යනකොට ත්‍රීවිල් එකක් තිබිලා ත්‍රීවිල් එකට කතා කරලා අපි ග්‍රහලෝකාගාරය ලඟට ගියා. එයා එක පාරට ඇග ගැස්සිලා වගේ වෙලා සීට් එකේ නැගිට්ටා. ඒ ගමන්ම මං ටක් ගාල අල්ල ගත්තා. අල්ලගෙන ඩ්‍රයිවර්ට කිව්වා වතුර ටිකක් ගේන්න කියලා. වතුර මූණට ඉස්සම එයාට සිහිය ආවේ නැහැ. මං කිව්වා බලාගෙන ඉන්න බැහැ ඉස්පිරිතාලෙට එක්කගෙන යමු කියලා.”