hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 මැයි 16, පෙ.ව. 1:14



කළුතර ලැගුම්හලක ඉහළ මහලෙන් වැටී දහසය හැවිරිදි පාසල් සිසුවියක් මිය යාමට අදාළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයෙන් මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා.

සිද්ධියේ ප්‍රධාන සැකකරු වන දැරිය මියයන අවස්ථාවේ ඇය සමඟ ලැගුම්හල තුල රැඳී සිටි පුද්ගලයා මේ වන විට පසුවන්නේ රිමාන්ඩ් භාරයේ.

රිමාන්ඩ් භාරයේ සිටින සෙසු සැකකරුවන් වන මියගිය දැරියගේ මිතුරිය ඇයගේ පෙම්වතා, ලැඟුම්හල් අයිතිකරුගේ බිරිඳ සහ ප්‍රධාන සැකකරුගේ මෝටර් රථය රැගෙන ගිය මිතුරා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ යළි ඉදිරිපත් කෙරුණා.

සැකකරු අධිකරණයට රැගෙන එන අවස්ථාවේදී අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් පැවැත්වුනේ මෙම සිදුවීමට අදාලව විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලමින්.

මියගිය දැරියගේ මව, පවුලේ ඥාතීන්, ප්‍රදේශවාසීන් ඇතුළු සියයකට ආසන්න පිරිසක් නිහඬ විරෝධතාවට එක්ව සිටියා.

අධිකරණ කටයුතු කළුතර මහේස්ත්‍රාත් නීතා හේමමාලි, හල්පන්දෙණිය මහත්මිය ඉදිරියේ ආරම්භ කෙරුණේ, මාධ්‍ය ආවරණය සඳහා අධිකරණ වාර්තාකරුවන්ට අවසර නොදෙමින්.

නඩු වාරය අතරතුරදී, පැමිණිල්ලේ සහ විත්තියේ නීතිඥයින් අතර උණුසුම් වාද විවාද සිදු වූ බව වාර්තා වනවා.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය, රිමාන්ඩ් භාරයේ සිටි එක් සැකකාරියක් ඇප මත මුදා හැරීමට නියෝග කළා.

රුපියල් ලක්ෂ දෙකක් වූ ශරීර ඇපයක් මත එලෙස මුදා හැරුනේ සිද්ධිය වූ ලැගුම් හිමිකරුගේ බිරිඳයි.

සෙසු සැකකරුවන් තිදෙනා ලබන විසිහය වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

සිද්ධියේ විමර්ශන මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවා ඇතුළු නිලධාරීන්ට කළුතර බන්ධනාගාරයට ගොස් සැකකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට ද මහේස්ත්‍රාත්වරිය අවසර ලබා දුන්නා.

මේ අතර සිදුවීමට අදාළව මුදලට කාන්තාවන් ලිංගික කටයුතු සඳහා විකිණීම සම්බන්ධයෙන් ද විමර්ශන ක්‍රියාත්මක බව වාර්තා වනවා.

දැනට සිදුකළ විමර්ශනවලදී සැක මතු ඇත්තේ මියගිය දැරියගේ මිතුරියගේ පෙම්වතා යැයි කියන තැනැත්තා ප්‍රධාන සැකකරුට රුපියල් විසිදහසක මුදලකට දැරිය අලෙවි කර ඇති බවටයි.

ප්‍රධාන සැකකරු ඊට අත්තිකාරමක් ලෙස රුපියල් දොළොස් දහසක් එම පුද්ගලයාගේ ගිණුමට බැර කර ඇති බවයි වාර්තා වන්නේ.

මීට අදාළව පෞද්ගලික බැංකු දෙකක ගිණුම් පිරික්සීමට විමර්ශකයින්ට අධිකරණයෙන් අවසර හිමිව තිබෙනවා.

නමුත් තමා අලෙවි කරන බවක් මිය ගිය දැරිය දැන සිටියේද නැද්ද යන්න පිළිබඳ මෙතෙක් කරුණු හෙළිවී නැහැ.

එමෙන්ම තරුණිය ඉහළ මහලෙන් ඇද වැටීමට පෙර ඇයට දුරකථන ඇමතුමක් ආ බවට ප්‍රධාන සැකකරු කල ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: