hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 16, ප.ව. 1:56



සමාජ මාධ්‍ය ඔස්සේ මේ වන විට දැඩි කතාබහක් ඇති වී තිබෙන “කඹ පූජාව” සම්බන්ධයෙන් රුවන්වැලි සෑයේ නායක ස්වාමින් වහන්සේ වන ඊතල වැටුණු වැවේ ඥානතිලක ස්වාමින් වහන්සේ අදහස් දක්වමින් සඳහන් කළේ මෙය කිසි සේත්ම “කඹ පුජාවක්” නොවන බවයි.

මෙවර එම කඹය කණ්ඩායමක් විසින් ලබා දුන් බවත් එසේ නොමැතිව එය කඹ පුජාවක් නොවන බවද උන්වහන්සේ සඳහන් කර සිටියා.

මේ සඳහා වැරදි අර්ථකථනයක් ලබා දී ඇති බවයි මේ කඹය මඟින් හුණු පිරියම් කිරීම සඳහා ලොකු සහයක් ලැබෙන බවද ඒ හිමියන් වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඊතල වැටුණු වැවේ ඥානතිලක ස්වාමින් වහන්සේ මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා සිටියා,

“ඉතින් මේක ඇත්තටම කරන්නේ ඉතින් රුවන්වැලි සෑයේ හතරැස් කොටුව වටේට මේ කඹය යොදනවා. මේක රුපියල් ලක්ෂ දහයක් විතර වටිනාකමක් තියෙන කඹයක්. ලොකු අර නැව් කඹයක්. හැමතිස්සේම ගන්නත් නැහැ. ඉතින් ඒ කඹේ එල්ලිලා තමයි ඉනිමං යොදන්නේ හතර පැත්තට හුණු ගාන අය. ඉතින් ඒ කඹේ තමයි මේ විදිහට අරන් ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේක සහනයක් වෙලා තිබෙනවා රුවන්වැලිසෑයට මේ තීන්ත ගාන එකට. මොකද මේකට හුණු වැටුනයින් පස්සේ අවුරුදු දෙක, තුනකින් දිරනවා. ඊට පස්සේ මේකේ එල්ලිලා තීන්ත ගාන්න මේ හුණු ගාන්න බැහැ.

මේක මේ පාර ගෙනිහිල්ලා ලබා දීලා තියෙන්නේ කණ්ඩායමක් විසින් එකතු වෙලා මේ කඹේ. එහෙම නැතුව කඹ පූජාවක් නෙමෙයි කියන එක තමයි මෙහිදී කියන්නේ. ඉතින් මේක හරි මොකක් හරි දෙයක් මේ වැඩකට දෙනවා නම් ඒක සහනයක් වෙනවා. නමුත් වෙලා තියෙන්නේ කඹේ ඉතින් කරෙන් අරගෙන ගියහම කඹ පූජාවක් විදිහට තමයි එන්නේ. ඉතින් මහා සෑයට කරන පූජාවක් විදිහට තමයි සිදු කරලා තිබෙන්නේ. ඉතින් ඒක වැරදි අර්ථකථන කරන්න එපා කියන එකත් සඳහන් කරන්න ඕනේ. මොකද කඹේ දිරලා කවුරුහරි කෙනෙක් මේ හුණු පිරියම් කරන වෙලාවේ, අනවශ්‍ය කරදරයකට ලක් වුණොත් එහෙම මේ දක්වා එහෙම වෙලා නැහැ. ඉතිහාසය පුරාම ඒ වගේ දේවල් වෙන්න එපා. ඉතින් ඒ හින්දා මේ ආරක්ෂාව වෙනුවෙන් කරපු වැඩක්.”

මේ අතර කඹ පූජාව අමු ගොන් වැඩක් බව රත්මලාන ධර්ම පර්යේෂණාලේ හෑගොඩ විපස්සි හිමියන් සඳහන් කර තිබෙනවා.

කාලෙන් කාලෙට මෙවැනි බහුබූත දේවල් සිද්ධ වෙන බවද උන්වහන්සේ පෙන්වා දෙනවා.

“මේ කඹ පූජාව වගේ දේවල් කාලයෙන් කාලයට පහළ වන දේවල්. ඉතින් මේවට යොදවෙන්න එපා. මේවට වෙලාව දාන්න එපා.” යනුවෙන්ද උන්වහන්සේ සඳහන් කර සිටිනවා.