hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 මාර්තු 30, පෙ.ව. 10:19



කංචන විජේසේකර ඇමැතිවරයාගේත්, ජනාධිපතිවරයාගේත්, ආණ්ඩුවේත් හෙළුව රටටම හෙළි කරලා ඉවරයි. වෘත්තීය සමිති මර්දනය කරලා මේ විරෝධතා නවත්වන්න බැහැ යැයි පොදුජන ප්‍රගතිශීලී සේවක (ඛනිජ තෙල් ශාඛාව) සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර මහතා පැවසුවා.

ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු එසේ කියා සිටි අතර, එහිදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේ ද සිටියා.

“අද වෙනකොට අපේ වෘත්තීය සමිති නායකයන්ට මේ ආයතනයේ සභාපතිවරයා ලියුමක් ගහලා තියෙනවා. අපිව අනිවාර්ය නිවාඩු යවලා මේ ආයතනය ඇතුළට ඇතුළුවීම අහිමි කරලා. අපි කියනවා කංචන විජේසේකර ඇතුළු මේ ආණ්ඩුවට වෘත්තීය සමිති මර්දනය කරලා කවදාකවත් සටන නතර කරන්න බැහැ කියන එක. සම්පත් විකුණන එකට කවදා හරි දවසක ඕගොල්ලන්ට වන්දි ගෙවන්න වෙනවා.

අපිට අද ආයතන ඇතුළට යන්න තහනම් කරලා ඇති. අපිව අනිවාර්ය නිවාඩු යවලා ඇති. හැබැයි උඹලා හිතපල්ලා උඹලට කවදා හරි දවසක වන්දි ගෙවන්න වෙනවා. අපි මේ සටන කවදාවත් පාවා දෙන්නේ නැහැ. ඊයේ ටැංකි රථ 10 ක් අරන් තෙල් බෙදුවා බලහත්කාරයෙන්. හමුදාව, පොලිසිය දාලා උවමනා වුණා රටට පෙන්වන්න ඛනිජ තෙල් සේවකයන්ගේ වැඩවර්ජනය අසාර්ථකයි, අපි ටැංකි රථ ටිකත් එළියට යැව්වා කියලා. හැබැයි අපි කියනවා මෙහෙම බොරු කරලා කවදාකවත් මේක දිනවන්න බැහැ කියලා. අද හමුදාවේ 4000 ක් 5000 ක් දාලා ඉන්නවා කොලොන්නාවට, මුතුරාජවෙලට, සපුගස්කන්දට. උඹලට මේක හැමදාම කරන්න බැහැ. අපි වැඩවර්ජනය ක්‍රියාත්මක කරනවා.අද හමුදාව දාලා තෙල් බෙදනවා නම් අපි ඒකට මුහුණ දෙනවා. අපේ සේවකයෝ බිල්ලට තියන්න බැහැ.”