hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 අගෝස්‍තු 11, ප.ව. 5:33



2022 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහා රන්දෝලි පෙරහර ආරම්භ වීමට ඇත්තේ තවත් කෙටි වේලාවක්.

2018 වසරෙන් පසු ඉතිහාසගත මහා ජන ගංගාවක් අවසන් මහ රන්දෝලියේ අසිරිය සියැසින් දැකගන්න මහනුවර වීදිවලට අතුරු සිදුරු නොමැතිව රැස්වී ඇති බව වාර්තා වෙනවා.

මේ අතර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන්‍ රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා දුම්රියවලින් මහනුවර බලා ගමන් කිරීමට අතිවිශාල ජනකායක් පැමිණීම හේතුවෙන් එම දුම්රියවල දැඩි තදබදයක් පැවතුණා.

පෙරහැර මංගල්‍යය හේතුවෙන් මහනුවර දක්වා විශේෂ දුම්රිය කිහිපයක් ද ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබූ අතර එම දුම්රියන් ජනතාවගෙන් පිරී ඉතිරී ගමන් ඇරඹිණි.

මේ හේතුවෙන් අතරමැදි දුම්රිය ස්ථානවලින් එම දුම්රියන්ට ගොඩ වීමට පවා මගීන්ට නොහැකි වූ අතර ඇතැමුන් දුම්රිය පා පුවරුවේ හා වහලය මතද නැගී අවදානම් ලෙස ගමන් කරනු ද දක්නට ලැබුණා.

මහනුවර බලා දුම්රියේ ගමන් කිරීම සඳහා ටිකට් ලබාගැනීමට දුම්රිය ස්ථානවල දිගු පෝලිම් ද පැවතිණි. 

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර අද (11) දින පස්වරු 7.00 පසුව විනාඩි 35ට එළඹෙන සුබ නැකැතින් වයඹ දිසාභිමුඛව ආරම්භ වෙනවා.

සිවුමහා දේවාල පෙරහර ද කැටුව ශ්‍රී දළදා මාලිගාව අසලින් ආරම්භ වන ඇසළ පෙරහර වැව පාර, දළදා වීදිය, යටිනුවර වීදිය, කන්ද වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිතයි.

අවසන් මහා ඇසළ පෙරහර පූර්ණ වශයෙන් මහනුවර නගරය ආවරණය වන සේ වීදි සංචාරය කරන අතර අවසන් මහ පෙරහර වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාවේ පෙරහරට මෙන් ම නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි සිව්මහා දේවාල පෙරහරට ද විශේෂ සංස්කෘතික හා කලා අංග එක්කොට ඇති බව ත් අලි, ඇතුන් සංඛ්‍යාව වැඩි කොට ඇති බව ත් පෙරහර සංවිධායක මණ්ඩලය පවසයි.

12 වන දා දියකැපුම් හා දවල් පෙරහරින් සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්‍ය අවසන් වීමට නියමිතයි.

අවසන් මහා රන්දෝලි පෙරහරේ සජීවී විකාශය ඒෂියන් මිරර් ඔස්සේ බලාපොරොත්තු වන්න.