hit counter

2024 සැප්‍තැම්‍බර් මස 16 වන සඳුදා

2024 අගෝස්‍තු 12, පෙ.ව. 7:47



මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සිව් මහා දේවාල සඳහා ප්‍රමාණවත් තරම් අලි ඇතුන් සොයා ගැනීමට නොහැකි නිසා පෙරහැර පැවැත්වීමේ බරපතළ ගැටලුවක් මතුව තිබෙන බව මහනුවර සතර මහා දේවාල බස්නායක නිළමේවරු පවසයි.

මේ වසරේ දී නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන දේවාල හතරටම සහභාගි කරවීමට හැකි වී තිබෙන්නේ අලි ඇතුන් 22 දෙනෙකු පමණක් බවද මෙයට වසර කීපයකට පෙර එක් දේවාලයක පමණක් අලි ඇතුන් 20 කට වඩා සහභාගී වූ බවද ඔවුහූ පවසනවා.

අධිකරණය මගින් ලබා දී තිබෙන වාරණයක් හේතුවෙන් පසුගිය වසරේ දී පෙරහරට සම්බන්ධ කරගත් අලි ඇතුන් 16 දෙනෙකු ගේ සේවය මෙවර ලබා ගැනීමට නොහැකි වී තිබෙන්නේ යැයි බස්නායක නිළමේවරුන් ගේ සංගමයේ සභාපති, මහනුවර පත්තිනි දේවාලයේ බස්නායක නිළමේ හේමන්ත බණ්ඩාර මහතා සඳහන් කළා.

පත්තිනි දේවාල නියෝජනය කරමින් පළමු කුඹල් පෙරහරේ ගමන් කළේ අලි පස් දෙනෙකු පමණක් බවත් පෙරහරට ගෙන එන ලද එක් අලියෙකු මේ වනවිට මද කිපී සිටින බවත් ඒ මහතා කියා සිටියා.

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මගින් පසුගිය වසරේ දී පින්නවලින් අලි සිව් දෙනෙකු පෙරහරට ලබාදුන් නමුත් හස්ති පාලකයින් නොමැති නිසා මෙවර එම අලි ඇතුන් ලබා දීමට හැකියාවක් නොමැති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර තිබෙන බවත් මේ හේතුවෙන් සිව් මහා දේවාල බස්නායක නිළමේවරු බරපතළ ගැටලුවකට මුහුණ දී සිටින බවත් හෙතෙම අවධාරණය කළා.

සාමාන්‍යයෙන් පෙරහර මංගල්‍යය සඳහා විෂ්ණු දේවාලයට අලි ඇතුන් 15 දෙනෙකු අවශ්‍යය වුවත් මෙවර මේ වනවිට ලබා ගැනීමට හැකි වී තිබෙන්නේ අලි ඇතුන් 09 දෙනෙකු පමණක් යැයි එම දේවාලයේ බස්නායක නිළමේ මහේන් රත්වත්තේ මහතා පවසයි.

නාථ දේවාල බස්නායක නිළමේ එස්.බණ්ඩාරනායක මහතා පැවසුවේ නාථ දේවාලයේ දේවාභරණ වැඩම කරවීමට සිටි මුතුරාජා ඇතා ගෙන ගිය පසු දැන් දේවාභරණ අලියෙකු මතින් වැඩම කරවීමට සිදුව තිබෙන බවයි.

හීලෑ අලි හිඟය සම්බන්ධව පෙරහර සංදේශය මගින් සෑම වසරකම සිහිපත් කිරීමක් කරන නමුත් ප්‍රශ්නයට මෙතෙක් කිසිදු විසඳුමක් ලැබී නොමැති බව ද ඒ මහතා කියා සිටියා.

රත්නපුර මහ සමන් දේවාල පෙරහර මහනුවර ඇසළ මංගල්‍යය එකම දින වකවානු වල යෙදීම නිසා රටේ දැනට සිටින අනූවක් පමණ වන හීලෑ අලි ඇතුන් පෙරහර දෙකට බෙදී ගොස් තිබෙන බවත් මේ නිසා මහනුවර සතර මහා දේවාල වලට ප්‍රමාණවත් තරම් අලි ඇතුන් නොමැතිව පෙරහර කරන්නට සිදුව තිබෙන බවත් මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිළමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ මහතා පැවසුවා.

කඩිනමින් මේ සම්බන්ධව තීරණයක් නොගතහොත් අනාගතයේ අලි ඇතුන් නොමැතිව ලෝක උරුමයක් වන දළදා පෙරහර කරන්නට සිදුවන බවද ඒ මහතා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: