hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 මැයි 01, ප.ව. 5:52



යාල ජාතික වනෝද්‍යානයේ ගල්ගෙය සීමාවේ දඩයමේ යෙදී සිටි බව කියන එම වනෝද්‍යානයේ ම පවත්වා ගෙන යන දේවාලයක කපුවෙකු සමග දඩයක්කරුවන් හය දෙනෙකු බෙහෙත් කොටන තුවක්කුවක් ඇතුළු උපකරණ රැසක් සමග ගල්ගේ වනජීවී නිලධාරීන් කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කපු මහතාට අයත් දේවාලය පිහිටා තිබෙන්නේ ද ගල්ගෙය වනජීවී කාර්යාල පරිශ්‍රයේ බවත් මහා බලසම්පන්න හාස්කම් ඇතැයි කියන කැබිලිත්තේ දේවාලය වෙත ගමන් කරන බැතිමතුන් මෙම සීමාවෙන් කැලයට ඇතුළු වීමට පෙර පඬුරු බැඳ පූජාවන් තබා බාරහාර වී යන්නේ ද මොහුගේ දේවාලයට බවත් වැටලීම සිදුකළ වනජීවී නිලධාරීහු පැවසූවා.

ඉකුත් 26 වන දා අලුයම 2.30ට පමණ ගල්ගේ වනජීවී කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් එම කාර්යාලය ඉදිරිපිට වෙහෙරගල ජලාශයට යන මාර්ගයේ ඉඳිගොල්ල වැව සීමාවේ කළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පිරිස පැමිණි බව කියන ත්‍රිරෝද රථයක් ද, බෙහෙත් කොටන තුවක්කුවක්, වෙඩි බෙහෙත්, ඊයම් කැබලි තොගයක්, විදුලිපන්දම්, පිහි, දුරකතන තුනක් ඇතුළු තවත් උපකරණ තොගයක් සැකකරුවන් ළඟ තිබී සොයාගත් බව වනජීවී නිලධාරියෙක් පැවසුවා.

අත්අඩංගුවට පත් දේවාලයේ කපුවා ඇතුළු සැකකරුවන් පස් දෙනකු බුත්තල වගුරුවෙල ප්‍රදේශයේ බව ත්, එක් අයෙකු මොනරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව ත් අනාවරණය වී තිබෙනවා.

දේවාලයේ කපු මහතා සමග එක්වී කාලයක සිට සංවිධානාත්මක අයුරින් මෙම දඩ මස් ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවට වනජීවී නිලධාරීන්ට තොරතුරු ලැබීම නිසා ඌව කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂ උපුල් ඉන්ද්‍රජිත් මහතාගේ උපදෙස් මත අවස්ථා ගණනාවකදී දිවා රාත්‍රියේ වැටලීම් සිදු කළ බව කලාප කාර්යාලයේ නිලධාරියකුද පැවැසුවා.

අත්අඩංගුවට පත් සැකකරුවන් වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඌව කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂ උපුල් ඉන්ද්‍රජිත්ගේ උපදෙස් මත ගල්ගේ කලාපය භාර නිලධාරි ඩබ්ලිව්.ජේ.කේ. හේරත්, උපුල් ප්‍රියංග, තිළිණ මදුවන්ත, එච්.පී. ප්‍රියංක ඇතුළු වනජීවී නිලධාරීහු වැටලීම කළා.