hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 28, පෙ.ව. 11:09



පසුගියදා පුත්තලම කාති අධිකරණයට පත්කළ පුත්තලම ක්වාසි අධිකරණ විනිසුරු වෛද්‍ය මොහොමඩ් රහමතුල්ලා මොහොමඩ් මහතාට පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේත්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා විසින් පහර දීමෙන් පුත්තලම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා විසින් පෙරේදා (26) රාත්‍රියේ කාදි අධිකරණයට පත්කළ පුත්තලම ක්වාසි අධිකරණ විනිසුරු වෛද්‍ය මොහොමඩ් රහමතුල්ලා මොහොමඩ් මහතාට තම නිවසට පැමිණෙන ලෙස දන්වා ඇති අතර රහමතුල්ලා මොහොමඩ් මහතා මන්ත්‍රීවරයාගේ නිවසට ඇතුළු වූ පසු මන්ත්‍රීවරයා සහ ඔහුගේ බෑණා මින් ඉදිරියට අධිකරණ විනිසුරු ලෙස කටයුතු නොකර රැකියාවෙන් ඉවත් වන ලෙස බලකරමින් තමාට පහර දුන් බවට ඔහු පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

මන්ත්‍රීවරයා සහ ඔහුගේ බෑණා තමාගේ හිස ප්‍රදේශයට පහර කීපයක් එල්ල කළ බවත් එම පහර දීමෙන් තමා බලවත් කම්පනයට පත් වූ බවත් රහමතුල්ලා මොහොමඩ් මහතා පැවසුවා.

පහර කෑමෙන් තුවාල ලබා පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන රහමතුල්ලා මොහොමඩ් මහතා මෙසේ පැවසුවා.

“මම වැඩ භාර ගන්න අවස්ථාවේ පුත්තලම කාදි උසාවියේ විශාල අසාධාරණකම් රැසක් සිදුව ඇති බව තේරුණා. වැඩිම අසාධාරණය සිදුව ඇත්තේ කාන්තාවන්ට. ඒ නිසා මම කාන්තාවන්ට සාධාරණයක් ලබා දෙමින් නීති කටයුතු කිරීමේදී විවිධ තර්ජන ආවා. ඒ වුණත් මම මගේ රාජකාරිය කරගෙන ගියා. ඒ අතුරතුරයි පුත්තලම මන්ත්‍රී අලි සබ්රි මුණ ගැහෙන්න කිව්වේ. ඒ අනුව මගේ හිතවතුන් දෙදෙනකුත් සමග ඔහුගේ නිවසට ගියා. නමුත් හිතවතුන් දෙදෙනාම එළියෙ තියලා මට විතරක් ඇතුළට එන්න කිව්වා. එහෙම කියල මාව ගෙට අරන් හොඳටම පහර දුන්නා. මන්ත්‍රීවරයා පහර දෙන විට ඔහුගේ බෑනාත් ඇවිත් මට ගැහුවා. ගහලා මාව එළියට දැම්මා. පස්සේ මම පොලිසියට පැමිණිලි කරලා රෝහලට ඇවිත් නතර වුණා. මන්ත්‍රීවරයායි ඔහුගේ බෑණායි මට අමානුෂික ලෙස පහර දුන්නා. කාදි උසාවියේ උඹට ඕනෑ විදිහට වැඩ කරන්න බැහැ. මට ඕනෑ විදිහටයි වැඩ විය යුත්තේ කියලා මන්ත්‍රීවරයා මට පහර දුන්නා.”

සිද්ධිය සම්බන්ධව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා මෙසේ පවසයි.

“මාව මුණ ගැහෙන්න කියලා මේ කාදිවරයා 26 වැනිදා ආවා. ඒ වන විට මට මළ ගෙදරකට යායුතු නිසා පසුව එන්න කිව්වා. පස්සේ නැවත රාත්‍රියෙ ඇවිත් මට කථා කළා. මම ඔහුට ඇතුළට එන්න කිව්වා. ඒ අතරතුර ඔහු මට තදින් කථා කරමින් තර්ජනාත්මක ස්වරූපයෙන් හැසිරුණා. මා ඉඳගෙන සිටි පුටුව තල්ලු කරලා දැම්මා. ඒ අවස්ථාවේ මා පුටුවෙන් වැටුණා. මම නැගිටිලා මේ මිනිහට යන්න කියලා එළියට දැම්මා. කිසිම ලෙසකින් පහර දීමක් කළේ නැහැ.”

මන්ත්‍රීවරයා පුටුවෙන් තල්ලු කර පෙරළා දමන ආකාරය නිවස තුළ සී.සී.ටී.වී. කැමරාවල සටහන්ව තිබේ දැයි විමසීමේදී මන්ත්‍රීවරයා පැවසුවේ නිවස ඇතුළත කැමරා සවිකර නොමැති බවයි.

පුත්තලම පොලිසිය මේ සම්බන්ධව විමර්ශන සිදු කරනවා.