hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 මැයි 03, පෙ.ව. 10:00



ඓතිහාසික කැබිලිත්ත පුදබිම පිහිටා ඇති මොනරාගල දිස්ත්‍රික්කයට අයත් වත්තේගම – කැබිලිත්ත වනාන්තරයේ අක්කර 25,000 ක් සහ උඩවලව – බෝගහපැලැස්ස වනාන්තරයෙන් අක්කර දහසකට වැඩි ප්‍රමාණයක් අනවසරයෙන් විනාශ කරන තෙක් රාජකාරිය ඉටු නොකර වගකීම පැහැර හැර ඇති වන සංරක්ෂණ නිලධාරීන්ට එරෙහිව නිසි විමර්ශනයක් සිදුකර විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පරිසර යුක්ති කේන්ද්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

මෙම වනාන්තර විනාශයට ප්‍රදේශයේ හේන් ගොවීන් හා ඉඩම් ජාවාරම්කරුවන් පමණක් නොව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පහළ සිට ඉහළට අයත් මෙතෙක් රාජකාරි පැහැර හැර ඇති ඇතැම් වන නිලධාරීන් ඍජුවම වගකිව යුතුව ඇතැයි පරිසර යුක්ති කේන්ද්‍රය පවසනවා.

ඇතැම් වන නිලධාරීන් විසින් අක්කරයට වාර්ෂිකව රුපියල් 5000 ක් බැගින් අයකර ඇතැමුන්ට මෙම ඉඩම් අනීතිකව වගා කරගන්නට ඉඩ ලබාදීම පිළිබඳව නැගෙන චෝදනා පිළිබඳව ද වහා විමර්ශනයක් කරන ලෙසයි ඔවුන් සඳහන් කරන්නේ.

පරිසර යුක්ති කේන්ද්‍රයේ ප්‍රතිපත්ති හා දැනුවත් කිරීමේ නිලධාරී ජනක විතානගේ මහතාගේ අත්සනින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකර ඇති ලිපියකින් මේ බව පවසන පරිසර යුක්ති කේන්ද්‍රය තව දුරටත් කියා සිටින්නේ වසර 2000 වනතෙක් ආරක්ෂිතව පැවති කැබිලිත්ත හා බෝගහපැලැස්ස වනාන්තර ඉන් පසු වසර 17 ක් තුළ මහා පරිමාණ වනාන්තර විනාශයකට ලක්වීමට හේතුව හේන් ගොවීන් හා ඉඩම් ජාවාරම්කරුවන් පමණක් නොව වන නිලධාරීන් යන සියල්ලන්ගේම එකතුවේ ප්‍රතිඵලයක් නිසා බවයි.

මේ වන විට රුපියල් මිලියන 40 ක රජයේ මුදල් වැයකර නැවත මෙහි වන වගා වැඩසටහනක් ක්‍රියාවට නැගෙන බවද, එසේ කිරීමට සිදුව ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තම රාජකාරිය ඉටු නොකර ඇති නිසා බවද ජනාධිපතිවරයාට යොමුකර ඇති මෙම ලිපිය මගින් පරිසර යුක්ති කේන්ද්‍රය පෙන්වා දෙනවා.

අතීතයේදී මහා වන මැද පිහිටි කැබිලිත්ත පුදබිම දැන් පෙනෙන ඉම දක්වාම මෙම වනාන්තර විනාශය උග්‍ර වී ඇති බවද වාර්තා වනවා.