hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 අප්‍රේල් 24, පෙ.ව. 10:30



රජයේ රෝහල්වල වැඩිපුරම භාවිතයට ගන්නා ප්‍රතිජීවක එන්නතක් මිලදී ගැනීමේ ක්‍රියාවලිය මාස හතරක් තිස්සේ පමා කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකුගේ ක්‍රියා කලාපය සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මැදිහත් වී නතර කොට තිබෙනවා.

Cefuroxime gnijcetion 750mg නමැති එන්නත මිලදී ගැනීම සඳහා කැඳවා තිබූ ටෙන්ඩරය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සමාගමකට ලබාදීමට තාක්ෂණික කමිටුව මඟින් නිර්දේශ කර තිබියදී මිල ගණන් ඉදිරිපත් කර තිබූ ලියාපදිංචිය 2019 නොවැම්බර් 30 වැනි දින අවසන්ව ඇති බව හා නැවත එම ඖෂධය සඳහා ලියාපදිංචියට අවසර ලබා නොගත් සමාගමට ලබාදීමට ඉහත සඳහන් අතිරේක ලේකම්වරයා ඉතා සූක්ෂ්ම ලෙස කටයුතු කර තිබෙනවා.

ලියාපදිංචිය නැවත ලබා ගෙන නැති මෙම සමාගම මීට පෙර සපයනු ලැබූ එම ඔෟෂධයෙහි කාණ්ඩ තුනක් මේ වන විට තත්ත්වයෙන් අසමත්ව ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් 2023 පෙබරවාරි 18 වැනි දින සෞඛ්‍ය ලේකම්වරයාට දැනුම් දී තිබුණා.

නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ප්‍රසම්පාදන මණ්ඩලය වෙත 2023.04.10 වැනි දින ඉදිරිපත් කරන ලද නිරීක්ෂණයන්හි එකී කාරණාව සම්බන්ධව අදාළ අතිරේක ලේකම්වරයා විසින් කිසිදු සඳහනක් නොකිරීම නිසා ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය මඟින් නිර්දේශය ලබාදීමේදී මෙම සමාගම් දෙකම සම තත්ත්වයේ ඇති සමාගම් වශයෙන් නිරීක්ෂණය කොට තිබෙනවා.

ප්‍රතිජීවක ඖෂධ ප්‍රසම්පාදනයේදී මිලෙන් අඩු ගුණාත්මක භාවයෙන් අඩු ඔෟෂධයක් ලබාදෙනවාට වඩා නිවැරදි ගුණාත්මකභාවය සහිත ඖෂධයක් ලබාදීමේ වැදගත්කම විශේෂඥ වෛද්‍යවරුන් විසින් නිරන්තරයෙන් පෙන්වා දෙන කාරණයක්.

එසේ නොවුණහොත් කාලයක් සමඟ රෝගීන්ගේ ශරීරය තුළ ප්‍රතිජීවක ප්‍රතිරෝධය (antibiolie resistance) ඇති වී සංකීර්ණ තත්ත්වයක් අනාගතයේ උදා වීමට ඉඩ ඇති බව ඔවුහු පෙන්වා දෙනවා.

ගුණාත්මකභාවයක් සහිත අත්‍යවශ්‍ය ඖෂධ කඩිනමින් රට තුළට සැපයීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇති කාර්යභාරය ඉමහති. නමුත් මෙවැනි උසස් නිලධාරීන් නිවැරදි කරුණු වසන් කරමින් තොරතුරු සැපයීමෙන් එහි බලපෑම වක්‍රාකාරව රෝගී ජනතාව වෙත එල්ල වීම වැළැක්විය නොහැකියි.

ඉහත සඳහන් ඖෂධය මාස හතරක පමණ කාලයක් තිස්සේ රජයේ රෝහල් පද්ධතිය තුළ තොග රහිත තත්ත්වය පැවැතීම මඟින් රෝගීන්ට වැඩි මුදලක් ගෙවා එම ඖෂධය මිලදී ගන්නට සිදුව තිබෙනවා.

මේ වන විට එම ඖෂධ එනම් එන්නත් කුප්පියක පෞද්ගලික ෆාමසියක මිල වන්නේ රුපියල් 850ක්.

ඉහත කී අතිරේක ලේකම්වරයාගේ ක්‍රියාකලාපය නිසා අදාළ මිලදී ගැනීම ප්‍රසම්පාදන කමිටුව වෙත ඉදිරිපත් කිරීමට ප්‍රමාද වීමත් ජනාධිපති ප්‍රසම්පාදන අභියාචන  මණ්ඩලය (PAB) වෙත වැරදි තොරතුරු සැපයීමත් නිසා නිවැරදි තීන්දු තීරණ ගෙන ප්‍රසම්පාදනය කඩිනම් කර අදාළ ඖෂධය සැපැයුම් කර ගැනීමට තිබූ ඉඩකඩ මේ වන විට ඇහිරී ගොස් තිබෙනවා.

ජාතික ඔෟෂධ නියාමන අධිකාරියේ මේ වන විට ලියාපදිංචි කර නොමැති මෙන්ම කලින් සැපයුම් කර ඇති මෙම ඔෟෂධයේම කාණ්ඩ තුනක් ජාතික ඖෂධ තත්ත්ව පාලන රසායනාගාරය තුළ කරන ලද පරීක්ෂණවලදී අසමත් වූ ඔෟෂධයක් මිලදී ගැනීම සඳහා එකී ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ නිර්දේශය ලබාදී තිබෙනවා.

මේ තත්ත්වය ගැන සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් විමසූ විට කීවේ මේ තොරතුරු සත්‍ය බවයි.

මේ තත්ත්වය ගැන තමාට වාර්තාවක් ලබාදෙන ලෙස පසුගිය සිකුරාදා අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුන් බවත්, මෙම ඖෂධය මිලදී ගැනීම ප්‍රමාදවීම ගැන අදාළ ලේකම්වරයාගෙන් තමා කරුණු විමසූ බවත් ජනාධිපති ප්‍රසම්පාදන මණ්ඩලයට යැවූ වාර්තාවට මෙතෙක් පිළිතුරක් නැති බව ඔහු දැනුම් දීම නිසා තමා මේ සම්බන්ධව ජනාධිපති ලේකම්වරයාට දුරකථනයෙන් කතා කොට දැනුම් දුන් බවත් කියා සිටියා.

මේ අතරතුර තමා සිකුරාදා අමාත්‍යාංශ කාර්යාලයට යන විට අදාළ ලේකම්වරයා එහි පැමිණ ජනාධිපති ප්‍රසම්පාදන මණ්ඩලයෙන් පිළිතුරු එවා තිබෙන බව දැනුම් දුන් බවත් සඳහන් කළා.

කෙසේ වෙතත් එම වාර්තාව ලබාගත් තමා අදාළ ඖෂධය වහාම ගෙන්වීමට කටයුතු කරන ලෙස සිකුරාදාම අදාළ අංශවලට නියෝගයක් දුන් බව ඇමැති රඹුක්වැල්ල මහතා කියා සිටියා.

ඔහු කීවේ ගෙන්වීම ප්‍රමාද කර ඇති මෙම එන්නත් කුප්පි 1,60,000ක් පමණ මසකට පාවිච්චි කරන බවත්ය.