hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 දෙසැම්‍බර් 07, පෙ.ව. 10:40



බොරැල්ල කොටා පාරේ පිහිටි වෙස්ටන් රෝහලේ දැනට වකුගඩු බද්ධ කිරීම් සැත්කම් 52ක් සිදු කර ඇති බවත් ඉන් හයක් පිළිබඳව කරුණු අනාවරණය වී ඇති අතර, සෙසු බද්ධ කිරීම් පිළිබඳව විමර්ශනය සිදු කරන බවත් එම රෝහලේ කම්කරුවෙකු විසින් රුපියල් ලක්ෂ 95ක මුදලකට රෝහලේ හිමිකරු වෙත ද සිය වකුගඩුව ලබා දී ඇති බවට වකුගඩු ජාවාරම් සිද්ධිය සම්බන්ධ විමර්ශනය සිදු කිරීමේදී කරුණු අනාවරණය වු බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ නි‍යෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (6) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේ පැවසුවා.

මෙම සිද්ධියට සම්බන්ධ වකුගඩු දායකයින්ට රෝහල වෙත ගොස් මුදල් ඉල්ලා කරදර නොකරන ලෙසට තර්ජනය සිදු කළ පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කරන ලෙසට මෙහිදී මහේස්ත්‍රාත්වරිය කොළඹ අපරාධ කොට්ඨාසය වෙත නියෝග කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වෙස්ටන් රෝහලේ අධ්‍යක්ෂකවරුන් වන වෛද්‍ය මොහොමඩ් හුසෙන් රිස්වි සරිෆ්, වෛද්‍ය තැබිලා රිස්වි සරිෆ්, වෛද්‍ය මෙ‍හොමඩ් රිකාන් සරිෆ්, වෛද්‍ය ඔමාර් සරිෆ්, වෛද්‍ය තැමිබා සරිෆ් ඇතුළු අමිතා කමලිනි කස්තුරිආරච්චි යන අයගේ විදේශ ගමන් තහනම් කරමින් අධිකරණය නියෝගයක් ද නිකුත් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අධිකරණය වෙත ආවරණ සහිතව ඉදිරිපත් කළ අතර, පැමිණිල්ල වෙනුවෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ ඒකක ස්ථානාධිපති රත්නමලල, වැඩබලන අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා මහතා සමඟ නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලිප පීරිස් මහත්වරු පෙනී සිටිය.

සිද්ධියට අදාළව අධිකරණයට කරුණු වාර්තා කරමින් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කරනු ලැබුවේ මෙය විශේෂ නඩුවක් හේතුවෙන් මෝෂන් පත්‍රයක් ගොනු කරමින් කැඳවා නීතිපතිවරයා මැදිහත් වීමට අපේක්ෂා කරන බවයි.

ආර්ථික මූල්‍ය දුෂ්කරතාවලින් පෙළෙන කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ජනතාවගේ ශරීර අවයව මුදලට ධනවත් හා දේශීය විදේශීය පුද්ගලයින්ට අලෙවි කරන මහා පරිමාණ ජාවාරමක් බවට හඳුන්වා දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සිය කරුණු දැක්වීම සිදු කළේ.

2022/11/21 මාධ්‍යයක් හරහා ප්‍රථමවරට මෙම නඩුවට අදාළ කරුණු අනාවරණයක් සිදු වන බව සඳහන් කළ දිලීප පීරිස් මහතා බොරැල්ල පොලිසියට ලද පැමිණිලි අනුව බස්නාහිර පළාත් පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව එහි විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත යොමු කර ඇති බවයි.

සිද්ධියට අදාළව සංක්ෂිප්ත වාර්තාවක් ඉකුත් 29 වැනි දින අධිකරණයට ගොනු කර ඇති බවත් වයස අවුරුදු 30-42 අතර සිටින තරුණ ස්ත්‍රි පුරුෂ පස්දෙනෙකු මෙහි වින්දිතයින් වන බවයි.

පුරුෂයින් හතරදෙනෙකු හා එක් කාන්තාවක මෙම වකුගඩු ජාවාරමේ පැමිණිලිකරුවන් වන බව පැවසූ දිලීප පීරිස් මහතා තැරැව්කරුවන් දෙදෙනෙකු සිටින අතර, ලක්ෂ 50 -120 අතර මුදලකට මෙම අවයව හුවමාරු වී ඇති බව සඳහන් කළා.

වෙස්ටන් රෝහලේ කම්කරුවෙකු වන ඥානදාස් ආර්දාන් නමැති අය ලක්ෂ 95ක මුදලකට රෝහලේ හිමිකරුට ලබා දී ඇති බවත් වෛද්‍ය වෘත්තිය අනෙකුත් වෘත්තීන්ට වඩා උතුම් රැකියාවක් වන අතර, එහි ජීවිත රැකීමට මිස මිනිස් වෙ‍ෙළඳාම් සිදු කිරීමට අයිතියක් ලබා දී නැතැයි පැවසූ නියෝජ්‍ය සොලිසිටර්වරයා අතීතයේ අඟපසඟ විකුණු වෘත්තින් සම්බන්ධයෙන් ද කරුණු අසා තිබුණත් මෙසේ ක්‍රියා කරන වෛද්‍යවරුන් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්විය යුතු බව සඳහන් කළා.

1987 අංක 48 මනුෂ්‍ය පටක බද්ධ කිරීමේ පනත මෙන්ම 2006 අංක 16 මිනිස් වෙ‍ෙළදාම යටතේ වරදවල් සිදු කර ඇති මෙම වෛද්‍යවරුන් දේශීය මෙන්ම විදේශීය ජාලගත ජාවාරමක් සිදු කර ඇති බව පැවසුවා.

ඖෂධ ජාවාරම, අවි ආයුධ ජාවාරම මෙන්ම ප්‍රථමවරට මිනිස් අවයව සම්බන්ධ ජාවාරමක් පිළිබඳව කරුණු අනාවරණය වන බව පැවසූ දිලීප පීරිස් මහතා බායි නමැති සැකකරු අත්අඩංගුවට ගන්නා බවට දැන ගෙන සැඟ වී සිටි අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය කණ්ඩායම් කිහිපයක් යොදවා සිටිය දී ඊයේ (6) පොලිසියට භාර වූ බව සඳහන් කළේ.

වින්දිතයින් ප්‍රකාශ කරන ආකාරයට ඔවුන්ට ලක්ෂ 10ක්වත් දීලා නැහැ, මෙම මුදල් කවුරුන් මංකොල්ලකෑවද? අපි වකුගඩුවක් දෙන්නේ පවුලේ සමීපතම ඥාතියෙකුට, අහල පහල අය දෙ‍න්නේ නැහැ. පරිත්‍යාග කරන අයට දීමනා දෙ‍න්නේ නැහැ. දෙපාර්ශ්වය මුණගස්වා ලිඛිත කැමැත්ත මත වකුගඩුව දෙන්න ඕනේ බව 1987 අංක 41 මනුෂ්‍ය පටක බද්ධ කිරීමේ පනතේ පැහැදිලි ලෙස සඳහන් කර තිබෙනවා යැයි හෙතෙම වැඩිදුරටත් අධිකරණය වෙත කරුණු අනාවරණය කළේ.

2022/8/3 සිට 2022/11/3 කාලපරාසය තුළ පුද්ගලයින් හයදෙනෙකු සැත්කමට භාජනය කර ඇති අතර, මුදල් ඉල්ලා ඇති වූ ආරවුලට සම්බන්ධ වූ පොලිස් ස්ථානාධිපතිවරයෙකු පැමිණිලිකරුවන් වෙත බොරැල්ල පල්ලිය පාරේ වාහන අංගණයක් වෙත කැඳවා ලක්ෂ දෙක බැගින් වූ මුදල් ලබා දී නැවත මේ සම්බන්ධයෙන් විමසීමට රෝහල් අධිකාරිය වෙත නොයන ලෙසට තර්ජනය කළ බවට ද තොරතුරු හෙළි වී ඇතැයි ද එම ජ්‍යේෂ්ඨ නිලධාරියා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන පවත්වන බවට ද දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ.

මේ වන විට මෙම රෝහලේ වකුගඩු සැත්කම් 52ක් සිදු කර ඇති බවත් ඉන් 6 පිළිබඳව කරුණු අනාවරණය වී ඇතැයි පැවසූ නියෝජ්‍ය සොලිසිටර්වරයා මෙම ජාවාරමට ආරක්ෂාව, ප්‍රවාහනය, සහාය, වෛද්‍ය සහාය, සැත්කම් සහාය ආදී නන්අයුරින් ක්‍රියා කළ අය වෙත නීතිය තදින් ක්‍රියාත්මක කරන බවට අධිකරණය හමුවේ පැවසුවා.

සැකකරු ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරමින් එදිනට හඳුනාගැනීමේ පෙ‍ෙරට්ටුවක් සඳහා යොමු කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලීම කළ දිලීප පීරිස් මහතා රෝහල් අධ්‍යක්ෂක මණ්ඩලයේ විදේශගත වීම් වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළ පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් මෙය පොලිස් දෙපාර්තමේන්තුවට කැළලක් බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වගන්ති ප්‍රකාරව පොලිසිය ඉල්ලා ඇති අධිකරණ නියෝගය වන අධ්‍යක්ෂක මණ්ඩලයේ විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක් ආගමන විගමන පාලකවරයා වෙත නිකුත් කළා.