hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 03, පෙ.ව. 6:51



දිළිඳු පවුල්වල පුද්ගලයන් මුලා කර මුදල් ලබා දෙන බවට පවසා බොරැල්ල කොටා පාරේ පිහිටි පෞද්ගලික රෝහලක් හරහා කෙරෙන වකුගඩු විකිණීමේ ජාවාරමක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය කොළඹ අපරාධ කොට්ඨාසය වෙත නියෝග කළා.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ දින අධිකරණය හමුවේ කරුණු වාර්තා කරමින් මේ සම්බන්ධ විමර්ශන ආරම්භ කළ බව දැනුම් දීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය මෙලෙස නියෝග නිකුත් කළා.

මේ සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලදී මෙම වකුගඩු ලක්ෂ 120ත් 150ත් අතර මුදලකට අලෙවි වන අතර දැනට පුද්ගලයන් පස් දෙනෙකු පමණ මෙම පෞද්ගලික රෝහල වෙත වකුගඩු ලබා දී ඇතත් මේ වන තෙක් එම පුද්ගලයන්ට මුදල් ලැබී නොමැති බව අනාවරණය වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට ප්‍රකාශ කර සිටියා.

වකුගඩු ලබා දී ඇති සියලු දෙනා දිළිඳු පවුල්වල පුද්ගලයන් බව ත් මේ අතර අවුරුද්දයි මාස 5 දරුවෙකුට කිරි දෙන මවක් ද සිටින බව ද පැවසෙනවා.

මෙම පුද්ගලයන්ගෙන් ලබා ගන්නා වකුගඩු දේශීය හා විදේශීය වශයෙන් විකුණන බව අනාවරණය වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ වාර්තා කළා.

තවදුරටත් සිදුකරන ලද විමර්ශනවලදී බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවක හරහා මෙම වකුගඩු ලබා දෙන පුද්ගලයන් රෝහල වෙත සම්බන්ධ කෙරෙන බව ද අනාවරණය වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියා.

වකුගඩු ලබා ගැනීමේදී සිදු කරන පරීක්ෂණ මෙම රෝහලේ සිදු කිරීමට අපහසු බැවින් එම පරීක්ෂණ නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහල් තුනක් හරහා සිදු කරන බවට කරුණු අනාවරණය වන බව ද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකර සාක්ෂි සටහන් කර ගන්නා බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය වෙත කරුණු වාර්තා කළා.

ඒ අනුව, සියලු ම විමර්ශන සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහෙස්ත්‍රාත්වරිය කොළඹ අපරාධ කොට්ඨාසය වෙත නියෝග නිකුත් කළා.