hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 මැයි 10, පෙ.ව. 9:00



ඊයේ(09) කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ දී පහරකෑමට ලක්වූ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව වාර්තා වනවා.

කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ රැඳී සිටි පිරිසක් විසින් මන්ත්‍රීවරයා ගමන්ගත් ජීප් රථය නවතා ඔහුට පහර දී ජීප් රථයට ගිනි තබා විනාශ කර දමා තිබෙනවා.

තුවාල ලැබූ මන්ත්‍රීවරයා පසුව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එම පහරදීමට හේතුවී ඇතැයි වාර්තා වන්නේ කුමාර වෙල්ගම මහතා ගමන් ගත් ජීප් රිය කොට්ටාව නගරයේ සිටි විරෝධතා දැක්වූ පිරිසක් යට කර ගෙන යාමට දැරූ උත්සාහයත් සමඟයි.

පසුව කොට්ටාව නගරය පසුකර හෝමාගම දෙසට ධාවනය කර ඇති එම ජීප් රිය පසුව කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ හයිලෙවල් මාර්ගයේ සිටි විරෝධතාකරුවන් පිරිසක් නවතා මන්ත්‍රීවරයාට සහ රියදුරුට පහරදී ජීප් රියට ගිනි තබා තිබෙනවා.

මෙම පහරදීමේ දී මන්ත්‍රීවරයාගේ හිසට සහ වම් අතට තරමක හානි සිදුවී ඇති බවයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රි මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.

කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාට සිදු කළ මෙම පහරදීමෙන් ඔහු මියගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ බරපතළ ලෙස තොරතුරු සංසරණය වුණා.