hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අගෝස්‍තු 15, පෙ.ව. 11:39



බලංගොඩ කූරගල පුදබිමේ වන්දනා චාරිකාවකට පැමිණි පිරිසක් වෑන් රථයකින් ආපසු පාදුක්ක ප්‍රදේශය බලා යමින් සිටියදී එම පිරිසට සහ එම වෑන් රථයට බලංගොඩ නගරයේ දී මෝටර් රථයකින් පැමිණි පිරිසක් සිදු කළ පහරදීමෙන් වෑන් රථයේ ගමන් කළ දෙදෙනෙකු තුවාල ලබා පෙරේදා (13) බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

පාදුක්ක ප්‍රදේශයේ පදිංචි 86 සහ 38 වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙකු මෙලෙස රෝහල් ගත කර තිබෙනවා.

එම පිරිස කූරගල පුදබිම වන්දනා කර පසුව වෑන් රථයෙන් පාදුක්ක බලා යමින් සිටියදී බලංගොඩ කල්තොට මාර්ගයේ දී අපරික්ෂාකාරී ලෙස ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක්, වෑන් රථය හා මාරු වෙනවා වෙනවාත් සමඟ එම මෝටර් රථය මාර්ගයෙන් ඉවතට ධාවනය වී තිබෙනවා.

පසුව එම මෝටර් රථය හරවා ගෙන විත් වෑන් රථයේ සිටි පිරිසට තර්ජනය කර තිබෙනවා.

නැවතත් වෑන් රථය ලුහුබැඳ විත් බලංගොඩ නගරයේ දී බියර් බෝතල් වලින් වෑන් රථයට සහ එහි ගමන් කළ අයට මෙලෙස පහර දී ඇති අයුරු වෑන් රථයේ සවිකර ඇති සී.සී.ටී.වී කැමරාවේ සටහන් වී තිබෙන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

පහරදීම හේතුවෙන් වෑන් රථයට බරපතල අලාභ හානි සිදුව තිබෙනවා.

අදාළ පහරදීම සිදු කළ කාන්තාව ඇතුළු සිව්දෙනකු බලංගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් බලංගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.