hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 21, ප.ව. 5:32



මුලතිව් කුරුදුමලෙයි ඓතිහාසික කුරුන්දි විහාරයේ සංරක්ෂණය කරමින් තිබූ චෛත්‍ය ඉදිකිරීම් ඉවත් කරන ලෙසට ලබා දුන් මහේත්‍රාත් තීන්දුව අවලංගු කිරීමට මුලතිව් මහේස්ත්‍රාත් ආර්. සර්වනරාජා මහතා ඊයේ (20) දින නියෝග කළා.

කුරුන්දි විහාරයේ විහාරාධිපති උතුරු පලාත් ප්‍රධාන සංඝ නායක පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි හිමියන්ගෙන් විමසීමේදී පවසා සිටියේ,

‘‘පසුගිය 19 දා සවස නීතිපති තුමන්ගේ උපදෙස් පරිදි නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සහ මුලතිව් පොලීසිය, මුලතිව් මහේත්‍රාත් ආර්.සර්වනරාජා මහතා ඇතුලු අධිකරණ නිලධාරීන්, නඩුව ගොනු කරන ලද පාර්ශවය ඇතුලු පිරිස කුරුන්දි විහාරයේ චෛත්‍ය නටඹුන් සංරක්ෂණය කෙරෙන ආකාරය පිළිබඳව නිරීක්ෂණයට පැමිණීමෙන් පසුව ඊයේ (20) සවස මීට පෙර චෛත්‍ය ඉදිකිරීම් හා නටඹුන් ඉවත් කිරීමට ලබා දී තිබූ නියෝගය අවලංගු කිරීමට මුලතිව් මහේස්ත්‍රාත්වරයා විසින් පියවර ගෙන තිබෙනවා.”

පසුගිය ජුලි 14 වනදා මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේදී කුරුන්දි විහාරයේ චෛත්‍ය සංරක්ෂණය කිරීමට එරෙහිව ගොනු කරන ලද නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මහේස්ත්‍රාත් ආර්. සර්වනරාජා මහතා විසින් චෛත්‍ය ඉදිකිරීම් වහාම නවතා අදාල ඉදිකිරීම් සියල්ල ඉවත්කරන ලෙසට මුලතිව් පොලීසියට නියෝග කොට තිබෙනවා.

අනතුරුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අදාල අධිකරණ නියෝගය පිළිබඳව නීතිපතිතුමන්ට දැනුම් දී නීතිපති සහය බලාපොරොත්තූ වූ අතර අනතුරුව අදාල අධිකරණ නියෝගය සම්බන්ධයෙන් නීතිපති දෙපර්තමේන්තු නිලධාරීන්ද සාකච්ඡාවක් සිදුකර තිබෙනවා.

එමෙන්ම මුලතිව් පොලීසිය මගින්ද මුලතිව් අධිකරණයට දැනුම් දී සිටියේ කුරුන්දි විහාරයේ චෛත්‍ය නටඹුන් ඉවත් කිරීමට අපහාස බවටත් එවැන්නක් තුලින් දැඩි විරෝධයක් මෙන්ම ජනතාව අතර දැඩි නොසන්සුන්තාවක් ඇතිවීමේ අවධානමක්ද පවතින බැවින් අදාල නියෝගය පිළිබඳව සලකා බලන ලෙසටයි.

කෙසේවෙතත් මුලතිව් මහේස්ත්‍රාත්වරයා කුරුන්දි විහාරයේ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින්ම ලබාදුන් නියෝගය අවලංගු කොට නැවත සංරක්ෂණ කටයුතු සිදුකරගෙන යාමට අවසරය ලබා දුන් බවටද කුරුන්දි විහාරයේ විහාරාධිපති උතුරු පලාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි හිමියන් වැඩිදුරටත් පැවසුවා.

වන්නි – රොමේෂ් මධුෂංඛ