hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 මැයි 20, පෙ.ව. 2:21



පසුගිය දා වයස අවුරුදු 14ක පිරිමි දරුවෙකු යන්තම්පලාව නගරයේ දී බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්වී ඇති බව පවසමින් පුවතක් වාර්තා වුණා.

එහි දී අතරමං වී පාර ඇසූ දරුවාට මූල්‍යායතනයක පිරිසක් ලිංගික අතවර කළ බවට ප්‍රචාරය වූ පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යක් බව හෙළිවී තිබෙනවා.

පොලීසිය පවසන්නේ ලිංගික අතවර චෝදනා එල්ල කළ දරුවා මානසික ආබාධයකින් පෙළෙන අයෙක් යැයි හෙළිවී ඇති බවයි.

දරුවා කිසිඳු ලෙසකින් ලිංගික අපයෝජනයකට ලක්වී නොමැති බවත් අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් තහවුරු වී ඇති බව පොලීසිය පවසනවා.

කාත්තන්කුඩිය ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි දරුවෙක් 17 වනදා නිවසින් පිටත්ව කුරුණෑගල ප්‍රදේශයට පැමිණ තිබුණා.

පසුව එම දරුවා යළි බස් රථයකට ගොඩවී ඇත්තේ නිවසට යාමේ අපේක්ෂාවෙන්.

දරුවා වැරදි බස් රථයකට ගොඩවී ඇති අතර ඒ බව අවබෝධකරගත් කොන්දොස්තර මහතා දරුවාට උපදෙස් දී ඇත්තේ බස් රථයෙන් බසින ලෙසයි.

ඒ අනුව ඔහු යන්තම්පලාව ප්‍රදේශයේදී බස් රථයෙන් බැස ඇති බවයි පොලීසිය පවසන්නේ.

පසුව, එම ප්‍රදේශයේ මහ මඟ ගමන් කරමින් සිටි දරුවා එම ප්‍රදේශයේ මූල්‍යායතනයක් වෙත ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී අලෙවියට තබා තිබූ යතුරුපැදි කිහිපයක් නෙත ගැටී, තමාට යතුරුපැදියක් මිලදී ගැනීමට අවැසි බව පවසමින් පස්වරු 5.30 ට පමණ එම ආයතනය තුළට යන ඔහු නිලධාරීන් ද සමග යතුරුපැදි පරික්ෂා කරන ආකාරය CCTV කැමරාවල සටහන්වී තිබෙනවා.

මෙම දර්ශනයේ දැක්වෙන පරිදි ඔහු යතුරුපැදියකට නැඟ එය පණගන්වා හිස් ආවරණයක් ද පැළඳ එය ධාවනය කරන්නට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මූල්‍ය ආයතනයේ නිලධාරීන්ට මොහු පිළිබඳ සැකයක් මතුවී ඇත්තේ ඔහුගේ හැසිරීමේ යම් අසාමාන්‍ය බවක් දක්නට ලැබීමෙන්.

පසුව ආයතන නිලධාරීන් සිය ආයතන පරිශ්‍රයෙන් දරුවා පිටත්කර හැර තිබුණා.

ඉන් අනතුරුව පස්වරු 6 ට පමණ නගරයට පැමිණි දරුවා මහ මඟ සිටි පිරිසකට පවසා ඇත්තේ මුල්‍ය ආයතනයේ පිරිසක් තමාට ලිංගික අපයෝජනයට ලක් කළ බවය.

දරුවාගේ එම ප්‍රකාශයෙන් ප්‍රකෝපවූ පිරිස් එම මුල්‍ය ආයතනයට පෙරේදා (18) කඩාවැදී ඇති අතර එහිදී ඇතිවී තිබුණේ දැඩි නොසන්සුන් තත්ත්වයක්.

කුරුණෑගල පොලීසියේ නිලධාරීන් ද එහිදී එම පරිශ්‍රය තුළට පැමිණ ඇති අතර ඒ අනුව ඔවුන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අදාළ දරුවා සිය භාරයට ගන්නා පොලිස් නිලධාරීන් දරුවා අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ දරුවාට කිසිඳු අයුරක ලිංගික හිරිහැර හෝ අතවරයක් සිදුවී නොමැති බවයි.