hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 05, පෙ.ව. 2:20



වෙසක් පොහොය ඉලක්ක කරගනිමින් නිෂ්පාදනය කළ මැටි පහන් සඳහා මේ වනතෙක් නිසි ඉල්ලුමක් ලැබී නොමැති බවත් නිෂ්පාදනය කළ මැටි පහන් විකුණා ගැනීමට නොහැකි වුවහොත් තමන් අන්ත අසරණ වන බැව් වැලිමඩ මැටි පහන් නිෂ්පාදකයෝ පවසනවා.

පසුගිය වර්ෂයේ මේ කාලය වන විට පන්සල්වලින් හා සමිති සමාගම්වලින්ද කඩවලින්ද මැටි පහන්වලට ඇණවුම් ලැබී තිබූ බවත් මේ වර්ෂයේ මේ වන තෙක් එසේ ඇණවුම් ලැබී නැති බවත් ඔවුහු පවසනවා.

මැටි පහන් නිෂ්පාදකයෙක් වන ශිවරාජ් මහතා මෙසේ පැවැසුවා.

“අපි පාරම්පරිකව මැටි භාණ්ඩ නිෂ්පාදනය තමයි කරන්නේ. අපේ පවුල්වල කිහිප දෙනෙක්ම මේ මැටි ආශ්‍රිත නිෂ්පාදන තමයි කරන්නේ. අපේ නිෂ්පාදන අලෙවි වන කාල තියෙනවා. වෙසක් පොසොන්, ඇසළ පොහොය කාලවල මැටි පහන් අලෙවිය වැඩියි. සිංහල අලුත් අවුරුදු කාලයට මැටි වළං අලෙවිය වැඩියි. එහෙත් පසුගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ අපේ නිෂ්පාදනවලට ලොකු ඉල්ලුමක් නැහැ. පහුගිය අවුරුද්දේ මේ වන විට මැටි පහන්වලට ලොකු ඉල්ලුමක් තිබුණා. ඒත් මේ අවුරුද්දේ තාම එකදු ඇණවුමක්වත් අපිට ලැබුණේ නැහැ. අපි ඉතිං මේ පහන් හදාගෙන බලාගෙන ඉන්නවා වෙසක් පොහොයටවත් අපේ ජීවිත ආලෝකමත් වෙයි කියලා. අපි මේ පහන් හදන්න මැටි ගේන්නේ වැල්ලවායෙන්. එක පස් ලෝඩ් එකක් ගේන්න අපිට රුපියල් පනස්දාහක් විතර යනවා. පස්වලට බලපත්‍ර ගන්න ඕනි. මේ බලපත්‍ර ලබා ගැනීම අපිට හරි කරදරයක්. මේකට සහනයක් දෙනවා නම් ඒක අපිට ලොකු දෙයක්. දරවල මිලත් දැන් වැඩි. ඒ නිසා අපිට දැන් මේ නිෂ්පාදන සඳහා ලොකු මූලික වියදමක් දරන්න වෙලා. මේ හදලා තියෙන මැටි පහන් ටික විකුණගන්න බැරි වුණොත් අපි ගොඩක් අසරණ වෙනවා.”

මැටි පහන් නිෂ්පාදිකාවක් වන ශෂිකා උදයමාලි මහත්මිය මෙසේ පැවැසුවා.

“අපි ඉන්නේ වැලිමඩ දඹවින්නේ. දඹවින්නේ පවුල් හයක් විතර මේ මැටි ආශ්‍රිත නිෂ්පාදන කරනවා. අයේ නාවෙලත් පවුල් කිහිපයක්ම මේ කර්මාන්තයේ නියැළෙනවා. ගිය සිංහල අලුත් අවුරුද්දට විකුණන්න හදපු වළං තවත් තියෙනවා ඉතිරි වෙලා. මේ සැරේ මේ හදපු පහන් විකුණගන්න බැරි වුණොත් අපිට වෙන්නේ කබළෙන් ළිපට වැටෙන්න. අපි පහනක් ලොකු ගාණකට දෙන්නේ නැහැ. අපි පහනක් රුපියල් පහකට වගේ ගාණකට තමයි දෙන්නේ. ඒ ගාණටවත් ගන්න එන්නේ නැහැ. ඊට අඩුවෙන් අපිට විකුණන්න බැහැ දැන් යන වියදමත් එක්ක. අපි හිතන්නේ පොල්තෙල්වල මිල වැඩි නිසා මිනිස්සු පහන් දැල්වීම අඩු කරලා කියලා. අපි දැනටමත් පහන් විශාල ප්‍රමාණයක් හදලා තියෙන්නේ. අපිට ඕනි ඒ පහන් ටික කොහොම හරි විකුණගන්න. අපි ඉල්ලා සිටින්නේ වෙසක් පොහොයට පුද බිම්වල පහනක් දල්වා පුදබිම් ආලෝකමත් කරන්නා සේ පහනක් මිලදී අරන් අපේ ජීවිතත් ආලෝකමත් කරන ලෙසයි.”