hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ජූලි 05, ප.ව. 9:02



ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරිනියගේ ඝාතනයට සැකපිට ඇයගේ ස්වාමියා, ඝාතනයට යොදාගත් බව කියන පොරවද සමඟ අද (05) සවස අත්අඩංගුවට ගත් බව ලංකාපුර පොලීසිය පවසයි.

ඉකුත් 4 වැනිදා අලුයම 2.30ට පමණ තල්පොත ලංකාපුර නිවසේ පදිංචිව සිටියදී පරිපාලන නිලධාරිනිය වූ යමුනා පද්මිණී මහත්මිය ඝාතනයට ලක්වූ අතර ඇගේ සැමියා දෙදරු පියා මෙලෙස සැකපිට අත්අඩංගුවට ගත් බව ලංකාපුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී. .පී. කේ. පතිරණ මහතා පැවසුවා.

පරිපාලන නිලධාරීනියට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඇයගේ සැමියා ඊයේ (04) මාධ්‍ය හමුවේ අදහස් දැක්වූයේ මෙලෙසයි.

“කළු උස මනුස්සයෙක්. ඒ මනුස්සයා කලින් සැරේ මෙතනින් පනින කොට මම ලයිට් දැම්මා. අවුරුදු 3කට විතර ඉස්සෙල්ලා. නෝනයි මමයි යට කාමරේ නිදාගෙන හිටියේ. උඩින් පැන්නා ලයිට් දානකොට පිටිපස්සට දිව්වා. මම හැමෝටම උදව් කරනවා. වචනෙකින් හරි කාට හරි උදව් කරනවා. එච්චර කරලා තමයි මේ. දරුවෝ දෙන්නා ලේ දැක්කා. ලේ කන්දක් තිබුණා. මොකක් හරි තියුණු ආයුධයකින්. මගේ කැති, පොරෝ, පිහි ඔක්කොම කුස්සියේ තියෙන්නේ. මගේම ආයුධයකින් වෙන්න ඇති ගහන්න ඇත්තේ. කොරෝනා හැදිලවත් නැති වෙන්න දුන්නේ නැහැ. මම ගෙදර තියාගෙන සත්කාර කළේ. කොහෙවත් යන පාහර බල්ලෙක් අතින් මැරෙන්න වුණා. ඒකයි දුක. මට ගහපු ෂොට් එක නෝනට වැදුණේ. පන්නගෙන එනකොට මගේ ගේ ඇතුළේ මට වඩා හොඳට දුවගෙන ගියා. පැන්න හැටියේ දිව්වා.”

ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලීසිය ඒ සඳහා පොලිස් නිල සුනඛයින්ගේ සහය ලබා ගත්තා.

පොලිස් සුනඛයා අදාළ නිවස තුළටම ගමන් කර තිබෙනවා.

පොලීසිය සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී පරිපාලන නිලධාරීවරියගේ සැමියා හෙළි කර ඇත්තේ අදාළ ඝාතනය තමන් විසින් සිදු කළ බවයි.

මත්පැන් පානය සහ මුදල් සම්බන්ධයෙන් බිරිඳ සමඟ ඇති වූ බහින්බස්වීමක් හේතුවෙන් හට ගත් ආරවුලක් ඝාතනයට හේතු වූ බව සැකකාර සැමියා ප්‍රකාශ කර තිබෙනවා.

ඊයේ පස්වරුවේ සිට දිගින් දිගටම තම බිරිඳ දොස් පැවරීම හේතුවෙන් හට ගත් කෝපය නිසා අයට පොරවකින් පහර දුන් බව සැකකරු පොලීසියට පවසා තිබෙනවා.

ඝාතනයෙන් අනතුරුව වත්තේ පිටුපස විසි කර තිබූ අදාළ පොරවද සැකකරු පොලීසියට ඉදිරිපත් කර තිබෙනවා.