hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මැයි 11, පෙ.ව. 10:57



කිරිබත්ගොඩ එක්සත් සිංහල වෙළෙඳ සංගමය සංවිධානය කළ වෙසක් පහන් කූඩු තරගයේ කොන්දේසි අනුව ජයග්‍රාහකයන්ට පොරොන්දුවූ ත්‍යාග මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් එම වෙසක් පහන් කූඩු නිර්මාණකරුවන් දස දෙනෙකු එම වෙළෙඳ සංගමයට එරෙහිව කිරිබත්ගොඩ පොලිසියේ විවිධ පැමිණිලි අංශයට ඊයේ (10) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

පසුගිය වෙසක් පොහොය නිමිත්තෙන් මෙම වෙසක් පහන් කුඩු ප්‍රදර්ශනය කිරිබත්ගොඩ පොදු වෙළෙඳසල් භූමියේ පිහිටි රථගාලේ ප්‍රදර්ශනය කර ඇති අතර දින තුනක් ප්‍රදර්ශනය කිරීමේ කොන්දේසි මත අයැදුම්පත් භාර ගත්ත ද නිර්මාණ ඉදිරිපත් කළ පිරිසට සංවිධායකයන්ගේ ඉල්ලීමට අවනත වෙමින් දින පහක් තම නිර්මාණ ප්‍රදර්ශනය කිරීමට සිදුවූ බව ද ඔවුහු පැවසූවා.

මෙම පහන් කූඩු තරගය පිළිබඳව කැලණි ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන පිවිසුම් ‍ෙදාරටුවේ ප්‍රදර්ශනය කළ ප්‍රචාරක පුවරුවක් මගින් ජයග්‍රාහකයන්ට හිමිවන ත්‍යාග සම්බන්ධයෙන් පුළුල් ප්‍රචාරයක් ලබා දී තිබූ බැවින් තම කාලය, ශ්‍රමය හා ධනය වැය කර තරගකරුවන් රාශියක් වෙසක් පහන් කූඩු ඉදිරිපත් කළේ යැයි ද ඔවුන් පැවසුවා.

තරග කොන්දේසි අනුව ප්‍රථම, දෙවන හා තෙවන ත්‍යාගය ලෙස පිළිවෙළින් ලක්ෂ දෙකක්, එකහමාරක් සහ තුන්වන ත්‍යාගය ලෙස ලක්ෂයක් ද, සැනසිලි ත්‍යාග වශයෙන් ජයග්‍රාහකයන් හත්දෙනකුට රුපියල් පනස්දහස බැගින් ද ලබා දෙන බවයි.

පෙරේදා (09) රාත්‍රි පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ගිවිසුම කඩ කරමින් ප්‍රථම ත්‍යාගය ලෙස ලක්ෂ එකහමාරක් ද දෙවැනි ත්‍යාගයට රුපියල් ලක්ෂයක් ද තුන්වන ත්‍යාගයට පනස් දහසක මුදලක් ද ලබා දී ඇති අතර සැනසිලි ත්‍යාග ලෙස නිර්මාණකරුවන් හත්දෙනකුට රුපියල් 50,000 වෙනුවට රුපියල් 10,000 බැගින් වූ චෙක්පත් ප්‍රදානය කර තිබෙනවා.

මෙම අසාධාරණයට මුහුණ දුන් තරගකරුවන් දසදෙනා ප්‍රකාශ කර සිටියේ, ඉතා සියුම්ව නිර්මාණය කළ මෙම වෙසක් පහන් කූඩු ප්‍රවාහනය කරමින් එමෙන් ම දින ගණනක් මුල්ලේ වෙහෙස මහන්සියෙන් මේවා නිර්මාණය කර තරගයට ඉදිරිපත් කළේ දහසක් බලාපොරොත්තු ඇතුව බවයි.

සංවිධායක මණ්ඩලය සූක්ෂ්ම ලෙස ගිවිසුම කඩකරමින් විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් නීතියේ පිහිට පතා 9 වන දා රාත්‍රි කිරිබත්ගොඩ පොලිසියට ගොස් පැමිණිල්ලක් කළ බවත් 10 වන දා උදෑසන දෙපාර්ශවය ම කැඳවා සාධාරණය ඉටුකර දීමට ක්‍රියා කරන බවට පොලිසිය උපදෙස් දී ඇති අතර එදින වෙළෙඳ සංගමයේ නියෝජිතයන් පොලිසියට නොපැමිණි බැවින් අසාධාරණයට මුහුණ දුන් පිරිස විවිධ පැමිණිලි අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

වෙසක් උත්සවය ද ගසාගෙන කන තරමට සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන් ක්‍රියා කිරීම පහත් පෙළේ ක්‍රියාවක් බව ත් මෙම අසාධාරණය සම්බන්ධයෙන් කැලණි ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියගෙන් සහ කැලණිය ප්‍රාදේශීය ලේකම්වරියගෙන් ද විමසූ විට ත්‍යාග මුදල් ගෙවීම වෙළෙඳ සංගමයේ තීන්දුවක් මත සිදුකරන බව නිලධාරිවරියන් පැවැසුවේ යැයි එම පිරිස මාධ්‍යට පැවැසුවා.

මහ වැසි මැද කාලය, ධනය, ශ්‍රමය කැප කළ නිර්මාණකරුවන් මුදල් හමුවේ හෑල්ලුවට ලක් කර ඇතැයි ප්‍රථම ස්ථානය හිමිකර ගත් ඉඳුනිල් දේවප්‍රිය ප්‍රනාන්දු මහතා පැවසුවා.

වෙළෙඳ සංගමයේ සභාපතිවරයාගෙන් දුරකතනය ඔස්සේ මේ පිළිබඳව විමසූ විට දින තුනකට පසුව සමිතිය රැස්වෙන බව ත් එහිදී සාධාරණය ඉටු කිරීමට සාකච්ඡා කරන බව ත් පැවැසුවේ යැයි ද ප්‍රනාන්දු මහතා පැවසුවා.

“අපිට ඕනේ සාධාරණය නෙවි, කොන්දේසි අනුව තරගයේ ජයග්‍රහණයට හිමි මුදල,” යැයි ඔවුහු එක හඬින් පැවැසූවා.