hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 මැයි 12, ප.ව. 5:33



පවතින අර්බුදය හමුවේ දේශපාලන වාසි ගැනීම සඳහා හැංගිමුත්තම් සෙල්ලම් නොකර විපක්ෂය සමාජ වගකීම තේරුම් ගෙන කටයුතු කළ යුතු බව මහනුවර නීතීඥ සංගමයේ සභාපති ධම්මික හෙට්ටිහේවගේ මහතා පවසයි.

රට තවත් අර්බුදයට ලක්වන තෙක් කල් මරමින් සිටීම වෙනුවට විපක්ෂය කළ යුත්තේ වගකීම් භාරගෙන අර්බුදයෙන් රට මුදා ගැනීමට කටයුතු කිරීම බවද ඒ මහතා සඳහන් කළා.

ඒ මහතා මේ බව පැවසුවේ මහනුවර විද්වත් සභාව මගින අද (12) මහනුවරදී පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

එහිදී හෙට්ටිහේවගේ මහතා මෙසේද පැවසුවා.

“පක්ෂ ලෙස වෙන් වෙන්ව සිටියත් විපක්ෂය තේරුම් ගන්න ඕන තමන් ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂය කියන කාරනය. විපක්ෂය මේ අවස්ථාවේ තනතුරු බාර ගැනීමෙන් ඔබ්බට ගොස් පවතින අර්බුදයට විසඳුම් ඉදිරිපත් කළ යුතුයි. තනතුරු ලබා ගත්තට පස්සේ වැඩපිළිවෙළක් ඉදිරිපත් කරලා වැඩක් නැහැ. මේ වන විට විපක්ෂය කෑලි කිහිපකට කැඩිලා.පිරිසක් අගමැතිකම ගන්න බලනවා. තවත් කොටසක් විපක්ෂනායකකම ගන්න බලනවා. විපක්ෂයේ ඉදලා මම ආවොත් ඔක්කොම ගේනවා කිව්වට වැඩක් නැහැ ගේන ක්‍රමය රටට කියන්න ඕන. අපට පේන විදිහට විපක්ෂය මේ වෙලාවේ නිද්‍රාශීලීයි.

අගැමැති ධූරයට පත්වන පුද්ගලායාට ජත්‍යන්තර සම්බන්ධතා තිබිය යුතුයි. පවතින ඩොලර් හිඟයට උත්තර ලබාදිය හැකි අයෙක් ඊට පත්විය යුතුයි. ව්‍යවස්ථාවේ අර්බුදයට විසඳුමක් ලබාදිය හැකි නීතිය පිළිබඳ ප්‍රාමානික දැනුමක් තිබිය යුතු පුද්ගලයෙක් වීමත් වැදගත්. විශේෂඥ දැනුම තිබෙන අය පාර්ලිමේන්තුවෙන් පිටත ඉන්නවා. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු වරම් ලබා සිටින අය කැපවීමක් කරලා ජාතික ලැයිස්තුව ඔස්සේ ඒ අයට පාර්ලිමේන්තුවට එන්න අවස්ථාව දිය යුතුයි.

පවතින අර්බුද වලට විසඳුම් සෙවිය යුත්තේ පාර්ලිමේන්තුව තුළින්මයි. අගමැති ඉල්ලා අස්වීම මත නම් කළ කැබිනට් මණ්ඩලයක් මගින් පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යන්න ජනපතිවරයාට බලතග තිබෙනවා. ඒ ප්‍රතිපාදන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනපතිවරයා සතුයි.අගමැති ඉල්ලා අස්වුණා කියලා ජනාධිපතිතුමාට අභිමත කැබිනට් මණ්ඩලයක් මගින් රට පවත්වාගෙන යාම දැනට උද්ගතව තිබෙන ප්‍රශ්නයට උත්තරය නොවෙයි. විසිවන ව්‍යවස්ථා සංශෝදනය ඉවත්කර 21 වන සංශෝධනය කඩිනමින් ගෙනා යුතුයි.

පවතින අර්බුදයට අවසන් විසඳුම ගන්න වෙන්නේ පාර්ලිමේන්තුවේ දැනට ඉන්න 225 තුළින්මයි. ඒ අය තමයි මේ ව්‍යවස්ථා සංශෝධනයට අත උස්සලා ඡන්දය දෙන්න ඕන. අපි සියලු පක්ෂ වලට කියන්නේ රටේ පවතින තත්ත්වය තේරුම් ගන්න කියලයි. රට විනාශයට යන තත්ත්වයත් එක්ක සියලු දෙනා පාට, පක්ෂ අමතක කරලා එකතු විය යුතුයි. අගමැතිකමට නම් කිහිපයක් යෝජනා කරන්න යන බව දැන ගන්න තිබෙනවා. හැකි ඉක්මනින් මේ ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතුයි. භාණ්ඩාගාරය දැනටමත් හිස් බව මහ බැංකු අධිපති ප්‍රකාශ කරලා තිබෙනවා. ඉතාමත්ම තර්ජනකාරී වාතාවරණයක් රටේ තිබෙන්නේ.

ජාත්‍යන්තරය ශ්‍රී ලංකාව බංකොලොත් කියලා ප්‍රකාශ නොකළාට ප්‍රායෝගිකව රට බංකොලොත් වී හමාරයි. පවතින ප්‍රශ්න සියල්ලට විසඳුම් සොයන්න ඕන මේ පාර්ලිමේන්තුව තුළින්මයි. මේ අවස්ථාවේ සියල්ලට පෙර පාර්ලිමේන්තුව රැස් කරන්න ඕන. අගමැති ධූරය හිස් වෙලා තිබෙන අවස්ථාවක ජනාධිපතිවරයාත් ඉවත් වුණොත් ඊළඟට කතානායකවරයාට තමයි විධායක බලතල පැවරෙන්නේ. මේ ඔස්සේ රටේ අරාජික තත්ත්වයක් නිර්මාණය විය හැකියි. දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 දෙනා පාට, පක්ෂ බේදා අත්හැරලා විසඳුමකට එන්න උත්සහ කිරීම වැදගත්. අගමැතිවරයෙක් නම් කර ඇමැති මණ්ඩලයක් පත් කරන්න ඕන. එසේ නොවුණොත් අපිට ජත්‍යන්තර වශයෙන් කිසිම ආයතනයක් සමඟ මූල්‍ය ගැටලු සම්බන්ධව කතාකරන්න බැහැ. ශ්‍රී ලංකා ආණ්ඩුව නියෝජනය කරන්නේ නිත්‍යානුකූල නියෝජිතයින් බව ඔවුන් පිළිගන්නේ නැහැ.”

(මහනුවර –  කේ .එල් .සුරවීර)