hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 07, ප.ව. 3:34



යෝජිත ප්‍රති ත්‍රස්ත පනතට විරෝධය පළ කරමින් සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් ඊයේ (06) කොළඹ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වුණා.

පිරිස ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරීවරියකට ඊට අදාළ ලිපියක් භාර දුන්නා.

සිවිල් ක්‍රියාකාරී බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා මෙසේ සඳහන් කළා,

“අපි ඒක දෙන්නේ මේ රටේ මේ ආණ්ඩුව කරගෙන යන මේ මර්ධනකාරී අණපනත් සහ ක්‍රියාකාරකම් පිළිබඳව ජාත්‍යන්තර මැදහත් විය යුතුයි කියන හැඟීමෙන්.”

අනතුරුව පිරිස මෙරට ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටද නිහඬ විරෝධතාවයේ නිරත පසුව එහි නිලධාරිනියකට ලිපිය බාර දුන්නා.

ප්‍රති ත්‍රස්ත පනතට විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත වූ සිවිල් ක්‍රියාකාරීන් එහි නියෝජිතයෙකුටද ලිපියක් භාර දුන්නා.

මහාචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“මේ ඇතිවෙලා තිබෙන දරුණු අධිකාරිවාදී, ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන නැවැත්වීම සඳහා ජාත්‍යන්තර වශයෙන් යම්කිසි බලපෑමක් කරන්න කියන පණිවිඩය දීම තමයි අපේ අරමුණ.”

සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“ඒ වගේම පී ටී එක, ඒ ටී එක කියන ත්‍රස්ත පනත් වහාම හකුලවන්න කියලා. ඒ වගේම අපි ආවේ, ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලේ නැවත රට ස්ථාපනය කරන්න කියන බලපෑම කරන්න. “

අනතුරුව, සිවිල් සමාජ එකමුතුව, මෙරට චීන සහ රුසියානු තානාපති කාර්යාලවලටත් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලට සහ මෙරට යුරෝපා සංගමයේ කාර්යාලයටත් ගොස් ඒ නියෝජිතයින් වෙත ලිපි භාර දුන්නා.

වෙනසක තාරුණ්‍යයේ ජාතික සංවිධායක ළහිරු වීරසේකර මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

දැන් කලින් තිබ්බ පී ටී ඒ දැන් තියෙනවා ඒ ටී ඒ. දැන් මේක ගේන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා හොඳ ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා ගේන එකක් කියලා. දැන් අලුතින් ඇවිල්ලා තියෙන ප්‍රති ත්‍රස්ත පනතට අනුව ආණ්ඩුව හොරා කෑවා කියලා අපිට කියන්න බැහැ. ආණ්ඩුව හොරා කාපු සල්ලි ආපහු දීපල්ලා කියලා කියන්න බැහැ. ඒ පනතට අනුව ආණ්ඩුවට යමක් කිරීමට හෝ නොකිරීමට බලකිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙනවා. මූලික මිනිස් අයිතිවාසිකම් පවා අමු අමුවේ උල්ලංඝනය කරමින් හදපු පනතක් තමයි මේක.”

මේ අතර රජය මගින් ඉදිරිපත් කිරීමට යෝජිත ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත මගින් ත්‍රස්තවාදයට පුළුල් අර්ථකථනයක් ලබාදීම තුළින් ජනතාවගේ මූලික අයිතීන් වලට බලපෑමක් එල්ලවන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ යෝජිත ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත මගින් සැබෑ ත්‍රස්තවාදී ක්‍රියාවක් සහ නීත්‍යානුකූල විරෝධය දැක්වීමක් අතර වෙනස හදුනා ගැනීම දුෂ්කර වන බවයි.