hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 මැයි 08, ප.ව. 2:07



මහජනතාව පත් වී ඇති අසීරුතාව කෙරෙහි සංවේදී වෙමින් රට තුළ උද්ගතව ඇති දේශපාලනික, ආර්ථික හා සමාජීය අර්බුද විසඳීමෙහිලා සාධනීය මැදිහත්වීමක් සිදු කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු මහජන නියෝජිතයෙකු කටයුතු නොකිරීම පිළිබඳව අප්‍රසාදය සහ කනගාටුව පළ කරන බව ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් පවසනවා.

ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා ඇතුළු පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ට ලිපියක් යොමු උන්වහන්සේලා මේ බව ප්‍රකාශ කරනවා.

අප්‍රේල් මස 04 සහ 20 වැනිදා ඉදිරිපත් කෙරුණු ලිපිවල දැක්වෙන පරිදි එම යෝජනා මාලාව ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන මෙන් නැවත නැවතත් දන්ව සිටින උන්වහන්සේලා, සියලු දේශපාලන පක්ෂ ඒකාබද්ධව වියතුන්ගෙන් සුසැදි සර්ව පාක්ෂික පොදු අන්තර්කාලීන පාලන ක්‍රමයක් ගොඩනැගීමට උත්සුක වන ලෙස ද යළි සිහිපත් කරනවා.

මහා සංඝරත්නය ලෙස කිසිවිටෙකත් පටු දේශපාලන අරමුණුවලට ගොදුරුව කිසිවෙකු හෝ බලයට ගෙන ඒමට හෝ බලයෙන් ඉවත් කිරීමට අපේක්ෂා නොකරන බව ද එමඟින් දක්වා තිබෙනවා.

එහෙත් මහජනයා අද වනවිට ජීවන වියදම හමුවේ පත්ව ඇති දැඩි අසරණභාවය පිළිබඳව උන්වහන්සේලා සංවේගයට පත්ව ඇති බව ද එහි සඳහන්.

එබැවින් ජනහිතකාමී දේශපාලන රටාවක් වෙනුවට ජනතා බදු මුදලින් වරප්‍රසාද භුක්ති විඳිමින් ආත්ම සුඛ විහරණය සඳහා පමණක් යොමු වී කටයුතු කරන්නේ නම් ඉදිරියේ දී මහජනතාවගේ දැඩි ප්‍රතික්‍රියාවන්ට මුහුණදීමට සිදුවනු ඇතැයි ද අදාළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙනවා.