hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 මාර්තු 17, පෙ.ව. 6:11



ශ්‍රී පාදස්ථානයට යන එරත්න මාර්ගයේ වෙළෙඳසැලක් පවත්වාගෙන ගිය වැලිමඩ ප්‍රදේශයේ කාන්තාවක මියගිය සිද්ධිය සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරනවා.

කෙසේ වෙතත් නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

මෙම කාන්තාව ලිස්ටීරියා රෝගි තත්ත්වය හේතුවෙන් මියගොස් තිබූ අතර රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමෙන් අනතුරුව රෝහල්ගතව ඇත්තේ පසුගිය 23 වනදායි.

ඇය ලිස්ටීරියා රෝගි තත්ත්වයට ගොදුරු ව සිට ඇති බවට මුලික විමර්ශනවල දි තහවුරු කර ඇති බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසුවේ.

ලිස්ටීරියා රෝග තත්ත්වය සම්බන්ධයෙන් මේ වන විට වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ වසංගත රෝ විද්‍යා අංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා කියා සිටියා.

කෙසේ වෙතත්, ලිස්ටීරියා රෝග තත්ත්වයෙන් සිදු වූ බව කියන තවත් මරණ 2ක් පිළිබද තොරතුරු වාර්තා වී ඇති නමුත් මෙතෙක් එම මරණවලට හේතුව නිශ්චිතව තහවුරු කරගෙන නොමැති බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

උණ, වමනය, හිසරදය, හුස්ම ගැනීමේ අපහසුතා, කෑම අජිර්ණය වැනි රෝග ලක්ෂණ ලිස්ටිරීයා වෛරසය අසාදනය වු රෝගීන්ගෙන් පෙන්නුම් කෙරෙනවා.

මේ මස මුල් සතියේ ශ්‍රී පාද වන්දනාවේ ගිය ඇතැම් පුද්ගලයින්ට මෙම රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇත්නම් වහාම වෛද්‍යවරයෙකු හමුවන ලෙසට දන්වමින් සමාජ මාධ්‍යවල විවිධ වාර්තා සංසරණය විම දක්නට ලැබුණා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය වෛද්‍ය තුෂාරි දිසානායක පැවසුවේ මෙම ආසාදන තත්ත්වය බහුල ලෙස මාංශ ආහාර ගැනීමේ අවදානමක් පවතින බවයි.

ආහාර මගින් ශරීරගත වන මෙම විෂබීජය බඩවැල්වලට සහ රුධිරයට එකතු වී අවසානයේ මොළයට ගමන් කිරීමේ හැකියාවක් පවතින බවත්, ඇතැම් විට මාරාන්තික විය හැකි බවත් සෞඛ්‍ය අංශ පවසනවා.

මේ වන විට හඳුනාගත් එක් ලිස්ටීරියා රෝගියෙකු පමණක් ජිවිතක්ෂයට පත්ව ඇති හෙයින් අනියත බියක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවක් මෙතෙක් පැන නැගී නොමැති බවයි ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පවසන්නේ.