hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 අප්‍රේල් 15, පෙ.ව. 5:41



ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ කටයුතු සම්බන්ධීකරණය සඳහා වන විශේෂ සාකච්ඡාව ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය මූලිකත්වය ගෙන ආරම්භ කර ඇත.එම රටවල් අමෙරිකාවේ වොෂිංටන් හි පැවැත්වෙන ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්ෂික ස්ප්‍රින්ග් මීටින්ස් රැස්වීමට සහභාගී වී සිටින අතරතුර ශ්‍රී ලංකාවේ වේලාවෙන් අලුයම විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව එම රටවල නියෝජිතයෝ පැවසූවා.

ශ්‍රී ලංකාව සහ එහි සියලුම ණය හිමියන් අතර සමීප සම්බන්ධීකරණය, ණය ස්ථාවරත්වය ඇතිකිරිම සදහා ප්‍රතිකර්මයක් කඩිනමින් ක්‍රියාත්මක කිරිමට ඉතා වැදගත් වන බව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය එහිදී පැවසුවා.

ශ්‍රි ලංකාවේ දීර්ඝ කාලීන මිතුරෙකු වශයෙන් ඉන්දියාව ණය ප්‍රතිව්‍යුහගත කරණය සම්බන්ධයෙන් පළමුව කැමැත්ත පළ කළ බවද බලාපොරොත්තු නොවූ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රි ලංකාවට සහාය පළ කළ බවද ඉන්දීය මුදල් අමාත්‍යවරිය සදහන් කළා.

ඇය වැඩිදුරටත් සදහන් කළේ ශ්‍රි ලංකාව සහ ශ්‍රි ලංකාවට ණය දෙන රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා එම මාධ්‍ය හමුවේදී සඳහන් කළේ ශ්‍රි ලංකාවට සිය අර්බුදයෙන් හැකි ඉක්මනින් ගොඩඒම සදහා කඩිනමක් විසඳුමක් අවශ්‍ය බවයි.

සියලුම ද්ව්පාර්ශවික ණය හිමියන් සාකච්ඡා වලට සහභාගී වී පළමු සමාලෝචනයට පෙර එම ක්‍රියාවලිය සම්පුර්ණ කරනු ඇති බවට බලාපොරොත්තු වන බවද ඔහු සදහන් කළා.

සූම් තාක්ෂණය ඔස්සේ එම මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ශ්‍රි ලංකාවේ ණය අර්බුදය විසඳීමේ කඩිනම් ප්‍රගතියක් ලබාගැනීම සඳහා ද්ව්පාර්ශ්වික ණය දෙන රටවල ආරම්භය මෙමගින් සනිටුහන් වන බවයි.