hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 29, පෙ.ව. 8:22



කොරෝනා රෝගීන් 131ක් ඊයේ(28) දිනයේ වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඊයේ දිනයේ දී කොරෝනා මරණ වාර්තා වී නැති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළා.

මේ අතර සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ කුඩා දරුවන් අතර උණ රෝගී තත්ත්වයන් බහුලව නිරීක්ෂණය වීම හේතුවෙන් දෙමවුපියන් ඒ පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බවයි.

කොවිඩ් -19 ඩෙංගු හෝ වෙනත් වෛරස් උණ හේතුවෙන් එම තත්ත්වය ඇති විය හැකි බව රිඡ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා සඳහන් කළා.

“දරුවෙකුට පැය 24කට වඩා උණ ගතිය පවතී නම්, ඔවුන් ආහාර ලබාගැනීම ප්‍රතික්ෂේප කරනවා නම් ඔවුන්ගේ මළානික ගතියක් හෝ ක්‍රියාකාරීත්වයේ අඩුවීමක් වමනය, පාචන තත්ත්වයක්, මුත්‍රා පිටවීමේ පැහැදිලි අඩුවීමක් සහ සම මතුපිට බිබිලි තත්ත්වයක්. සාමාන්‍යයෙන් දරුවෙක් ට සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයකට වඩා විශේෂ ලක්ෂණ පවතී නම් වහාම වෛද්‍යවරයෙක් හමුවෙන්න.

පවතින කොවිඩ් අවදානම වර්ධනය වුවහොත් ඉදිරියේදී යළි සංචරණ සීමා පැනවීමට ද සිදුවනු ඇති බව විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියා.

කොවිඩ් රෝගය දැනට පැතිර යන සීඝ්‍රතාවය සලකා බැලුවහොත් ඉදිරියේ දී ඉතා පැහැදිලිවම රෝගීන්ගේ සංඛ්‍යාව වැඩිවීමක් විය හැකි බවත් එනිසා සංචරණ සීමා වල පැනවීමට සිදු විය හැකි බවත් ඔහු අවධාරණය කළා.

එයින් නැවත බලපෑම ඇති වෙන්නේ කුඩා දරුවන්ට බවත් පෙන්වා දෙන වෛද්‍ය චන්න ද සිල්වා මහතා එම නිසා මේ අවස්ථාවේ දී යම්කිසි පාලනයක් දැනටත් රට තුළ ඉතා පැහැදිලිවම දක්නට ලැබෙන බවත් කියා සිටියා.

මේ රෝගය තවදුරටත් පැතිරීම පාලනය කිරීම ඉතාම වැදගත් බැවින් නැවත මුඛ ආවරණය පැලඳීම, හැකි හැම අවස්ථාවකම අනවශ්‍ය ලෙස පුද්ගල ඒකරාශීවීම් නැවැත්වීම හා පුද්ගලයින් අතර පරතරය තබා ගැනීම වැනි පුරුදු තව දුරටත් පවත්වා ගැනීම වැදගත් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

දරුවන් අතර පැහැදිලිවම රෝගය පැතිරීමේ වැඩිවීමක් ඉදිරියේ දී දකින්න ලැබෙන්න පුළුවන්. එම නිසා දෙමාපියන් හා වැඩිහිටියන් වශයෙන් අපේ යුතුකමක් තමා රෝග ලක්ෂණ පවතින දරුවෙක් සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් වෙන්න පුළුවන්, උණ තත්ත්වයක් වෙන්න පුළුවන් එවැනි තත්ත්වයක් තිබුණොත් පාසල් හෝ පෙරපාසල් නොයවා නිවසේ සිට තුළ අවධානයෙන් ඔවුන් බලාගැනීම ඉතාම වැදගත්.” යැයි වෛද්‍ය චන්න ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසුවා.