hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 23, පෙ.ව. 9:43



දැන් ඉතිරි වී ඇත්තේ පළාත් පාලන මැතිවරණයේ මරණ සහතිකය ලිවීම පමණක් යැයිද ඊට අදාළ ගැසට් නිවේදනය ළඟදීම නිකුත් වනු ඇතැයිද සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ගාල්ලේදී ඊයේ (22) පැවැසුවා.

මැතිවරණ කොමිසමෙන් බැහැර කරුණු ඊට හේතුවී යැයිද ඊට වගකිවයුත්තේ කවුදැයි කිව නොහැකි යැයිද දේශප්‍රිය මහතා සඳහන් කළා.

එසේම සීමා නිර්ණය පිළිබඳ අවසන් වාර්තාව මාර්තු මස විසිපස් වැනි දින හෝ එයට ආසන්න දිනයකදී ලබාදීමට බලාපොරොත්තු වන්නේ යැයිද ඔහු කියා සිටියා.

සීමා නිර්ණය පිළිබඳව ගාල්ල දිස්ත්‍රික්කයේ  මතුවී තිබූ යම් යම් ගැටලු පිළිබඳව ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ සමඟ පැවැති සාකච්ඡාවකින් පසුව මාධ්‍යවේදීන් සමඟ පැවැති හමුවකදී ඒ මහතා මේ බව පැවැසුවා.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන්  දැනට උද්ගතවී ඇති තත්ත්වයන් පිළිබඳව මෙහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් සභාපතිවරයා දැන් ඒ මැතිවරණය ඉවර යැයිද ඉතිරි වී ඇත්තේ මරණ සහතිකය ලියන එක පමණකැයිද කී ඒ මහතා ඒ පිළිබඳ ගැසට් නිවේදනය ළඟදීම  නිකුත්  කරනු ඇතැයි තමන් සිතන බවත් සඳහන් කළා.

මෙම තත්ත්වයට හේතුවූ කරුණු රටම දන්නා බවත් මැතිවරණය කොමිසමෙන් බැහැරවූ කරුණු මත මේ තත්ත්වය උදාවූ බවත් මේවාට වගකිව යුත්තේ කවුරුන් දැයි මට කියන්නට බැරි බවත් කියා සිටියා.

“ඔබ මෙම කොමිසමේ සභාපති ලෙස හිටිය නම් ගන්නා ක්‍රියාමාර්ගය කුමක් දැයි ඇසූ පැනයට පිළිතුරු දුන් ඒ මහතා මෙම  කොමිසමේ මම හිටියා නම් එතකොට බැට් කරන්න ඕන මම. දැන් මම බැට් කරන්නේ නැතුව එළියෙ ඉන්න වෙලාවක මට කියන්න බෑ  මම කොහොමද ගහන්නේ කියල. එතකොට විකට් එකේ ඉන්න එක්කෙනා තමයි වැටෙන බෝලවලට බැට් කරන්නෙ කොහොමද කියල දන්නේ.” යනුවෙන්ද සඳහන් කළා.