hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 02, පෙ.ව. 9:44



මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති සහ සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මැතිවරණ සහ සීමා නිර්ණය කොමිෂන් සභාවල සාමාජිකත්වය ඉල්ලා ව්‍යවස්ථා සභාව වෙත අයැදුම්පත් ඉදිරිපත් කළ බව පැවසෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවට තමන් පත් කළහොත් එය භාර ගන්නා බව පැවැසූ දේශප්‍රිය සීමා නිර්ණ කොමිෂන් සභාවට තමන් වඩා කැමති බව ප්‍රකාශ කළා.

සීමා නිර්ණ වැඩකටයුත්ත කරගෙන යන විට දිස්ත්‍රික් කමිටුව පත්කිරීමේ ප්‍රමාද වීම, ජනවාරි 1 සිට නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම්, විශ්‍රාම යාම්, උසස් වීම් නිසා සීමා වීම, භාෂා පරිවර්තකයන්ගේ හිඟය හේතුවෙන් නිර්ණ කමිටුව තවත් මාසයක කාලයක් (මාර්තු 31 දක්වා) ඉල්ලූ බව ද හෙතෙම සඳහන් කර සිටියා.

සීමා නීර්ණ කොමිෂන් සභාවේ වාර්තාව මාර්තු 31 වන විට ලබා දිය හැකි බව ත් ගැසට් පත්‍රය හා අනෙකුත් ඇමුණුම් ලබා දීමට තවත් දින 15ක් පමණ ගතවනු ඇති බවත් ඔහු සඳහන් කළා.

ගැසට් පත්‍රයේ මුද්‍රණ කටයුතු බොහෝදුරට අවසන් වී තිබෙන බව පැවසූ සභාපතිවරයා දකුණු පළාතේ වැඩ අවසන් බව ත්, උතුරු පළාතේ කටයුතු මේ සතිය තුළ අවසන් කර මුද්‍රණයට ලබා දෙන බවත් ප්‍රකාශ කර සිටියා.

වාර්තාවේ සම්පූර්ණ කටයුතු ජනාධිපතිවරයා විසින් ගැසට් කරනු ලැබිය යුතු බව ත්, වෙනත් විශේෂ බාධකයක් ඇති නොවුණහොත් එය අප්‍රේල් මාසයේ අග වන විට සිදුකළ හැකි බව ත් ඔහු සඳහන් කළා.

ගණනය කිරීමේදී දැනට 4865ක් අඩුවීම් සිදුකර තිබෙන බව ත්, කිසිදු හේතුවක් මත හෝ 5000 ඉක්මවා නොයන බවත් දේශප්‍රිය මහතා පැවසීය. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මාර්තු 9 පැවැත්වීමට යොදාගෙන තිබූ බැවින් මැතිවරණ කොමිෂන් සභාව එතරම් කාලයක් කල් නොදමනු ඇති බව ද ඔහු පැවසුවා.

ඒ අනුව, අප්‍රේල් මුල් සතියේ මැතිවරණය පවත්වනු ඇතැයි තමන් අපේක්‍ෂා කරන බව ද සභාපතිවරයා ප්‍රකාශ කළා.

මුදල් ඇමතිවරයා වන ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර රුපියල් බිලියන 5ක් ලබාගෙන මැතිවරණය සිදුකරනු ඇතැයි විශ්වාසය උඩ තමන් සිටින බව ද හෙතෙම කියා සිටියා.

නියමිත දිනට වඩා දිනයක් හෝ ඡන්දය කල් දැමීම නොවිය යුතු බව ද ඔහු සඳහන් කළා.