hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 21, ප.ව. 12:49



මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පළාත් පාලන ඡන්දය පැවැත්වීමට දින හතක් ඇතුළත මැතිවරණ කොමිසමට මුදල් ලබා නොදුන්නොත් විරුද්ධ පක්ෂයේ සියලු ම පක්ෂ ඒකාබද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව නිදහස් ජනතා සන්ධානයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසුවා.

අය-වැයෙන් මැතිවරණ කොමිසමට ඡන්දය සඳහා වෙන් කළ මුදල තවත් පමා නොකොට ලබාදෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු වාරණ නියෝගය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා මෙසේ ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව මහාචාර්යවරයා සඳහන් කළා.

ඒ අනුව දින හතක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අවනත වීමට පියවර නොගතහොත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා උසාවියට අපහාස කළා සේ සලකා ඔහුට එරෙහිව අපහාස නීතිය යටතේ පියවර ගන්නැයිද එහිදී ඉල්ලා සිටින බව මන්ත්‍රීවරයා කියා සිටියා.

විවිධ මතවලින් සමන්විත විපක්ෂයේ පක්ෂ එක ස්ථාවරයකට පැමිණීම විරල සිදුවීමක් බව කී හෙතෙම, ඊට හේතුව මෙම කරුණේ ගාම්භීරත්වය මෙන් ම මෙම පූර්වාදර්ශය අතිශයින් භයානක වීම බව ද මහාචාර්යවරයා අවධාරණය කළා.

මේ ආකාරයට මුදල් අමාත්‍යංශයට බලය ලැබුණොත් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවලට කිසිදු සැලකිල්ලක් නොදක්වනු ඇති බව ත් ඒවා සියල්ල ඉදිරියේදී කිසිදු ගෞරවයකින් තොරව ප්‍රතික්ෂේප වනු ඇති බව ත් ඔහු පැවසුවා.

මෙම පූර්වාදර්ශය ස්ථාපනය වුවහොත් එය ඉදිරියේදී පළාත් පාලන ඡන්දයට සීමා නොවී මහ මැතිවරණ, ජනාධිපතිවරණ දක්වා ගමන් කරනු ඇති බව ද ජී.එල්. පීරිස් මහතා පැවසුවා.

මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත්කළ මැතිවරණයක් තිබේද නැද්ද හා තිබෙන්නේ නම් ඒ කවදා ද ආදී වශයෙන් පළාත් පාලන ඡන්දය ගැන දැන් ඇත්තේ කිසි කලෙක නොවූ පුදුම තත්ත්වයක් බවද ඔහු කියා සිටියා.

නීතියට අනුව මැතිවරණය මාර්තු 9 පවත්වන බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු දුන් මැතිවරණ කොමිසම ඉන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර මුදල් නොලැබීම යන එකම හේතුව මත ඡන්දය පවත්වාගත නොහැකි යැයි කී බව ද ඔහු අවධාරණය කළා.

මේ අතර ඡන්ද පත්‍රිකාවලින් සියයට 75ක් මුද්‍රණය කර අවසන් වුවත් ඉතිරිය මුද්‍රණයට මුදල් නැතැයි රජයේ මුද්‍රණාලයාධිපතිනිය කියද්දී ඡන්දයට මුදල් අවශ්‍ය ආකාරය ගැන මැතිවරණ කොමිසම පැහැදිලිව සඳහන් කළේ යැයි ද ඔහු කියා සිටියා.

මෙය ලංකා ඉතිහාසයේ කිසි කලෙක නොවූ තත්ත්වයක් බවත් පාර්ලිමේන්තුව අය-වැයෙන් මැතිවරණ කොමිසමට ඡන්දය සඳහා වෙන් කළ මුදල තවත් පමා නොකොට ලබා දෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු වාරණ නියෝගය දින හතක් ඇතුළත ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා කටයුතු කරනු ඇතැයි සිතන බවද මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළා.