hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 දෙසැම්‍බර් 05, ප.ව. 8:11



පුවත්පත් වාර්තාකරණයේ දී මීට වඩා වගකීමෙන් හා නිරවද්‍යතාවයෙන් යුතුව සත්‍ය කරුණු සොයාබලා පුවත් වාර්තා කිරීමට වග බලාගන්නා ලෙස “Sunday Times” පුවත්පතේ කතුවරයාට තරයේ අවවාද කරන බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (05) පාර්ලිමේන්තුවට නිවේදනය කළා.

ඒ මහතා මෙම නිවේදනය සිදු කළේ, 2022 දෙසැම්බර් 04 ඉරිදා “Sunday Times” පුවත්පතේ “Committee rejects move to increase retirement age of Parliament Secretary General” යන ශීර්ෂය යටතේ පළකරන ලද වාර්තාව සාවද්‍ය වාර්තාවක් බවට අවධාරණය කරමින්.

පසුගිය දිනක කථානායකවරයාගේ නිල කාමරයේදී එතුමාගේ සභාපතිත්වයෙන් පවත්වන ලද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභා රැස්වීමේ දී පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාගේ විශ්‍රාම ගැනීම පිළිබඳව කිසිදු සාකච්ඡාවක් සිදු නොවූ බවත්, එදින සාකච්ඡා කරන ලද්දේ සමස්තයක් වශයෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ විශ්‍රාම ගැනීමේ වයස පිළිබඳව පමණක් බවත් කථානායකවරයා මෙහිදී අවධාරණය කළා.

එකී පුවත්පත් වාර්තාවේ දක්වා ඇති පරිදි පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අදාළ කරුණු සම්බන්ධයෙන් ද කිසිදු සාකච්ඡාවක් සිදු නොවූ බවත් කථානායකවරයා දන්වා සිටියා.

කථානායකවරයාගේ ඉහත ප්‍රකාශයට එකඟත්වය පළ කරමින් සභානායක ගරු සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ඉහත පුවත්පත් වාර්තාවේ කරුණු සියල්ලම සාවද්‍ය බවයි.

තවදුරටත් කරුණු දැක්වූ ප්‍රේමජයන්ත මහතා පැවසූයේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභා රැස්වීමේදී සාකච්ඡා කරන ලද්දේ කථානායකවරයා යටතේ පාලනය වන ශ්‍රාවස්ති ගොඩනැගිල්ල සම්බන්ධව සහ පොදුවේ පාර්ලිමේන්තු සේවකයන්ගේ විශ්‍රාම ගැනීමේ වයස අනෙත් රාජ්‍ය සේවකයන් මෙන් කුමන මට්ටමක තබන්නේද යන්න පිළිබඳව පමණක් බවයි.

එහිදී පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා හෝ ඔහුගේ කාර්ය මණ්ඩලය පිළිබඳ එකදු වචනයක් හෝ අදාළ රැස්වීමේදී සාකච්ඡා නොකළ බවද සඳහන් කළා.

එනිසා මෙම පුවත්පත් වාර්තාවට වගකිවයුතු පුද්ගලයන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව වෙත කැඳවන ලෙස ද සභානායකවරයා ඉල්ලා සිටියා.

ඉහත සඳහන් පුවත්පත් වාර්තාව පිළිබඳ අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ අදාළ රැස්වීමේදී පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ විශ්‍රාම ගැනීමේ වයස පිළිබඳ කිසිදු සාකච්ඡාවක් සිදු නොකළ බවත් ‍සාකච්ඡා කරන ලද්දේ පොදුවේ පාර්ලිමේන්තු සේවකයන්ගේ විශ්‍රාම ගැනීමේ වයස පිළිබඳව පමණක් බවයි.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේ උක්ත රැස්වීම සඳහා සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය යන මහත්වරු සහභාගී වී තිබෙනවා.