hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 05, පෙ.ව. 9:33



මේවන විට “ගෝඨාගෝගම” විරෝධතාවට සහය පල කරමින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල එහි ශාඛා ආරම්භ කර තිබෙනවා.

මේ අතර එම විරෝධයට සමගාමීව අරලිය ගහ මන්දිරය ඉදිරිපිටත් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

අරලියගහ මන්දිරයට ගාලු පාරෙන් පිවිසෙන ප්‍රධාන දොරටුව අභියස විරෝධතා ස්ථානයක් ලෙස පසුගිය 26 වනදා ආගමික වතාවත් සිදුකර පීත්ත පටි කපා කිරි උතුරවා එම ස්ථානය විරෝධතා ස්ථානයක් ලෙස ආරම්භ කෙරුණා.

එය නම් කර තිබෙන්නේ “මයිනාගෝගම” ලෙසයි.

මෙම ස්ථානයේ කිහිපදෙනෙකු විරෝධතාවයක් ආරම්භ කළ අතර එහි රැඳී සිටි පුද්ගලයින් එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස අධිකරණ නියෝගයක් ලබාගැනීමට කොල්ලුපිටිය පොලිසිය කටයුතු කළා.

කෙසේ වෙතත් එම ඉල්ලීමට අධිකරණය අවසර ලබාදී නොතිබීම හේතුවෙන් මෙම ස්ථානය ස්ථිර විරෝධතා ස්ථානයක් ලෙස පවත්වා ගැනීමටයි විරෝධතාකරුවන් කටයුතු කර ඇත්තේ.

මේ අතර අරලිය ගහ මන්දිරය ඉදිරිපිට ස්ථාපනය කර ඇති ‘මයිනාගෝගමේ’ සවි කර තිබූ අට්ටාලයක් පසුගිය 01 වනදා පොලිස් නිලධාරීන් විසින් ඉවත් කිරීමට කටයුතු කළා.

ඒ හේතුවෙන් එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ද හටගත් අතර විරෝධතාකරුවන් ඊට දැඩි විරෝධය පළ කර තිබුණා.

මේ අතර ඊයේ (04) අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත අරගලකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියෝගයක් නිකුත් කර තිබුණා.

ඒ අරලියගහ මන්දිරය ඉදිරිපිට මාර්ගය සහ පදික වේදිකාව මෙම අරගලකරුවන් හේතුවෙන් අවහිර වන බවට පොලීසිය කළ ඉල්ලීම සලකා මෙම නියෝග නිකුත් කර තිබෙනවා.

මේ වන විට අදාළ අධිකරණ නියෝගය පොලීසිය විසින් විරෝධතාකරුවන්ට ප්‍රකාශ කර ඇති බව සඳහන්.

අධිකරණ නියෝගය අනුව ඉවත් කරන සෑම පොලිස් වාහනයක් සඳහාම අට්ටාලය බැගින් ඉවත් කිරීමට මයිනාගෝගම විරෝධතාවක නිරත පුද්ගලයන් එකඟ වී තිබෙනවා.

පදික වේදිකාව හා මාර්ගය අවහිර වන අයුරින් ඉදිකර ඇති අට්ටාල ඉවත් කිරිමට කටයුතු කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයක් අනුව මෙම ඉවත් කිරිම් සිදු වෙයි.

පදික වේදිකාව භාවිත කරන හා මහා මාර්ගය භාවිත කරන අයට අවහිර නොවන අයුරින් පවත්වන සාමකාමී විරෝධතා සඳහා මෙම අධිකරණ නියෝගය අදාළ නොවන බවද එම නියෝගයේ දැක්වෙනවා.