hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 මැයි 03, පෙ.ව. 10:04



පාස්කු ඉරිදා ප්‍රහාරයක් සිදුවන බව වගකිවයුතු බලධාරීන් සියලු දෙනාගෙන් සැඟවූයේ දේශපාලන ජයග්‍රහණ වෙනුවෙන් බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

ඒ ඉතාලියේ පාදුවා නුවර දී දේව මෙහෙයට එක්වෙමින්.

මෙම දේවමෙහෙයේ දී උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ, පවතින දේශපාලන ක්‍රමය වෙනස් විය යුතු බවට ගාලු මුවදොර පැවැත්වෙන අරගලය අතිශය සාධාරණ බවයි.

එහිදී උන්වහන්සේ මෙසේ ද අදහස් දක්වා සිටියා,

මේ ප්‍රහාරය සම්බන්ධව බොහෝ දෙනෙක් දැනගෙන ඉදලා තියෙනවා. අපි විතරයි දන්නේ නැත්තේ. අපිට කිව්වා නම් අපිට මේ මිනිස්සුන්ව බේරා ගන්න තිබුණා. බලකාමය නිසා බලය ගන්න තියෙන කෑදරකම නිසා යටපත් කෙරුවා. ජනාධිපතිතුමාගෙන් පටන් අරන් එදා හිටපු ලොකුම නිලධාරිනුත් ආරක්ෂක අංශ භාරව හිටපු නිලධාරීනුත් තමන්ගේ වගකීම පැහැර හැරියා. ඒක ඕනේ කමින් කළා ජන්දය දිනන්න ඕනේ නිසා. ජන්දය දිනන්න ඕනේ කම තිබුණා. ඒක තමයි මේක පිටිපස්සේ තිබුණු චේතනාව. අපි රට ආරක්ෂා කරනවා අපි රටට යුක්තිය දෙනවා කියලා කියන්න ඕනේ කරලා තිබුණා ඒ කට්ටියට. ඒක තමයි ඒ දේ කළේ. එහෙම නැත්තම් අපිට කියන්න තිබුණනේ දැනගෙන හිටපු අය මෙහෙම දෙයක් වෙන්න යනවා ආරක්ෂා වෙන්න කියලා. ඒගොල්ලෝ අතරේ ලියුමක් බෙදාගෙන ඒගොල්ලෝ ආරක්ෂා වුණා නිලධාරීන් සියලුදෙනාම.”

“දේශපාලඥයින් බේරුණා අහිංසක මිනිස්සුන්ව බිල්ලට දුන්නා. නිදහසෙන් පස්සේ මොනවද අපි ලබා ගත්තේ? එන්න එන්නම පිරිහුණු සමාජයක් දේශපාලකයෝ ඇති කෙරුවා. ඔක්කොම පක්ෂවල ඈයෝ ඕකට වග කියන්න ඕනේ. ඒකාධිපතියෙක් බිහි කෙරුවා රට තුළ. මෙන්න අපේ රටට වෙච්ච විනාශය. ජාතින් අතර කෙටවීම් ඇති කෙරුවා. ආගම් අතර කෙටවීම් ඇති කෙරුවා. සිංහල මිනිස්සු දෙමළ මිනිස්සු විරසක කෙරුවා. ඊට පස්සේ බැලුවා මුස්ලිම් මිනිස්සු කතෝලිකයන්ගෙන් සහ සිංහල මිනිස්සුන්ගෙන් විරසක කරන්න. ඒ බලය අල්ල ගන්න. මේ තමයි අපිට උරුම කරලා දුන්නු ලංකාව. ඒක නිසා තමයි ගාලු මුවදොර පිට්ටනියේ තරුණ තරුණියෝ කෑ ගහන්නේ මේ ඇති කියලා. ඒක සම්පුර්ණයෙන්ම සාධාරණයි. වෙනස් වෙන්නට අවශ්‍යයි. මේ ක්‍රමය පයින් පාගලා විසි කරලා දාන්න සුදුසුයි දැන්. නව නීති රටට අවශ්‍යයි දැන්. ජනතාව හොඳටම දිලිදු තත්වයට පත් කරලා පාලකයෝ පොහොසත් වෙලා.”

සිංහල බසින් දේවමෙහෙය පැවැත්වුණු අතර ඒ සඳහා පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සහ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද සහභාගී වුණා.