hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 අප්‍රේල් 29, පෙ.ව. 2:08



ලංකාවේ තිබූ මැලේරියා රෝගයට වඩා විදේශ රටවලින් පැමිණෙන මැලේරියා රෝගය ඉතා මාරාන්තික බවත් විදේශගතවී පැමිණෙන ශ්‍රී ලංකිකයන් සහාය වන්නේ නම් එය ඉතා පහසුවෙන්ම වළක්වා ගැනීමට සහ රටින් තුරන් කිරීමට හැකි බවද අනුරාධපුර ප්‍රාදේශීය මැලේරියා මර්දන වෛද්‍ය නිලධාරී වෛද්‍ය වරුණි ගුණතිලක මහත්මිය පැවැසුවා.

ලෝක මැලේරියා දිනයට සමගාමීව අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ පැවැති දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් වෛද්‍ය වරුණි ගුණතිලක මහත්මිය මේ අදහස් පළ කළා.

අනුරාධපුර දිස්ත්‍රික් මැලේරියා මර්දන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක සමන් සෙනෙවිරත්න විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණා.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය වරුණි ගුණතිලක මහත්මිය,

“මැලේරියාව මෙරටින් සම්පූර්ණයෙන්ම තුරන් කළ රටක් විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අපිට සහතිකය ලැබිලා තියෙනවා. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් නොමිලේ මැලේරියා වළක්වා ගැනීමට බෙහෙත් ලබා දෙනවා. මැලේරියාව හදන්නේ පරපෝෂිතයෙක්. පරපෝෂිතයා විතරයි අපේ රටෙන් තුරන් කරලා තියෙන්නේ. හැබැයි අපේ රට ඝර්ම කලාපීය රටක් විදිහට තවමත් මදුරුවා ඉන්නවා. පරපෝෂිතයා රැගෙන යා හැකි මදුරුවා ඉන්න බැවින් පරිපෝෂිතයා ඒම වැළැක්වීම අත්‍යවශ්‍යයි.

සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකබවේ ඉහළින් සිටින අපේ රටේ මැලේරියාව තුරන් කිරීමට හැකි වුණත් අනෙකුත් ඝර්ම කලාපීය රටවල තවමත් මැලේරියාව තියෙනවා. හමුදාව විදේශ ගතවීමේදී නියමිත සෞඛ්‍ය උපදෙස් පිළිපදිනවා. ඒ නිසා ඒක ලොකු සහනයක්. නමුත් අපේ සාමාන්‍ය ජනතාව පොළේ යනවා වගේ විදේශගතවී පැමිණීම හේතුවෙන් අවදානමක් ඇති වෙලා තියෙනවා. දැනටමත් ලංකාවේ පරපෝෂිත ඇතුළු වූ දස දෙනෙක් (10) ඉන්නවා මෙන්ම එක් පුද්ගලයකු මැලේරියාවෙන් මිය ගොස් තිබෙනවා. ඒ නිසා ආසියානු අප්‍රිකානු රටවල ගොස් පැමිණෙන පුද්ගලයන් මේ පරපෝෂිත අරගෙන එන්න පුළුවන්. ඒ නිසා සංචාරයකට හෝ රැකියාවකට හෝ ව්‍යාපාර කටයුත්තකට හෝ ගොස් පැමිණෙනවා නම් අදාළ සෞඛ්‍ය උපදෙස් අනිවාර්යයෙන්ම පිළිපදින්න.

ඉතාම පහසුවෙන් එය කළ හැකියි. විදේශගතවීමට සතියකට පෙර බෙහෙත් ලබා දෙනවා. විදේශගත වී වසරක් සඳහා අපෙන් බෙහෙත් ලබා දෙනවා. ඔවුන් සතියකට රට වෙනුවෙන් පෙති දෙකක් බීම ඉතාම පහසු කටයුත්තක් නොවේද?

ගුවන් තොටුපළේදී රුධිර පරීක්‍ෂාව අනිවාර්යයෙන්ම කෙරෙන්නේ හමුදාවට පමණයි. අනෙකුත් පැමිණෙන සිවිල් වැසියන් බොහෝ විට එය නොසලකා හරිනවා. විනාඩි විස්සකින් (20) පමණ කාලයකින් කළ හැකියි. මේ සඳහා සහායදීම ගැන සිතා කටයුතු කරන්න. අඩුම තරමේ තම ගම්බිම් කරා ගියාට පසු හෝ ඉතා ඉක්මනින් ලංකාව පුරාම පිහිටුවා ඇති ආසන්නම මැලේරියා මර්දන කාර්යාලයෙන් ලේ පරීක්‍ෂාවක් කර අදාළ බෙහෙත් ලබාගෙන එය සැලකිලිමත්ව මාසයක් පමණ පාවිච්චි කිරීමෙන් අපිට නැවතත් මැලේරියාව තුරන් කළ රාජ්‍යය බවට පත් වෙන්න පුළුවන්. එහෙම නැතිනම් විදේශගත වීමට පෙර මැලේරියා සම්බන්ධ සම්පූර්ණ තොරතුරු 0117626626 හෝ 0712841767 යන කොළඹ පිහිටි මැලේරියා මර්දන ව්‍යාපාර ස්ථානයෙන් වැඩි විස්තර දැනගන්න පුළුවන්.

පහසුවෙන් වළක්වා ගන්න පුළුවන් වූවාට මෙය සැහැල්ලුවට ගෙන මඟහරින්න එපා. වළක්වා ගැනීමට අනිවාර්යයෙන්ම බෙහෙත් ගන්න ඕනෑ. අනෙක් අයට පැතිරීම වැළැක්වීමටත් බෙහෙත් ගන්න ඕනි. නැතිනම් අපේ රටේ තිබූ මොළේ මැලේරියාවටත් වඩා භයානකයි. විදේශයෙන් මේ රටට ගෙන එන මැලේරියාව එය මාරාන්තිකයි. මරණය සහ වෙනත් අතුරු ආබාධ ඇති විය හැකි බැවින් මේ ජාතික යුතුකමට වැසියන් විදිහට හැමෝම දායක වෙන්න. විදේශගත වන්නන් මේ සඳහා දායක නොවුණහොත් එය මේ රටට කරන මහා අපරාධයක් වෙනවා” යැයිද ඇය පැවැසුවා.