hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 මැයි 22, පෙ.ව. 12:43



ඇතැම් දේශපාලඥයෝ තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමේ ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමට උත්සාහ දරණ බව මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ පවසනවා.                       

උතුරු පළාත් හානි පූර්ණ කාර්යාලයේ හිටපු කොමසාරිස් මෙන්ම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු උතුරු පළාතේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික යුධ හමුදා කර්නල් රත්නප්‍රිය බන්දු මහතා ඊයේ (21) මල්වතු මහා විහාරයේදි උන්වහන්සේ බැහැ දුටු අවස්ථාවේ නාහිමියෝ එම අදහස් පළ කළා.                                                                                                    

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ මල්වතු මහ නාහිමියෝ මෙසේද සඳහන් කළා.

“මේ වන විට උතුරු නැගෙනහිර පළාත්වල මෙන්ම වෙනත් පළාත්වලත් ජාතිවාදී, ආගම්වාදී කටයුතු ක්‍රියාත්මක වෙන ආකාරය අපි දකිනවා. ජාතීන් අතර සංහිදියාව පිළිබඳ රජය පැත්තෙන් යම් යම් අවස්ථාවන්හි අදහස් පළ වුණත් ඒ සම්බන්ධයෙන් මේ දක්වාම නිශ්චිත වැඩසටහනක් අපිට පෙනෙන්නට නෑ. හැමතැනම කතාව විතරයි. මේ සම්බන්ධයෙන් යම් කිසි ගැටළුකාරී තත්ත්වයන් දකින්නට ලැබෙනවා. දේශපාලඥයෝ කණ්ඩායමක් තමයි මේ හැම දෙයකටම මැදිහත් වෙලා ඉන්නේ. පටු දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම තමයි ඒ අයගේ එකම අරමුණ. ඔබතුමා උතුරු පළාතේ ඉදලා එනකොට දමිළ ජනතාව යන්න නොදී අඬන හැටි අපි දැක්කා. මල් මාල දාපු ආකාරය අපි දුටුවා. ඒ ජනතාව ඔබතුමා කෙරෙහි තැබූ විශ්වාසය ඉන් පිළිබිඹු වුණා. සියල්ලටම ප්‍රථමයෙන් ඒ ජනතාව අතර විශ්වාසය ඇති කළ යුතුයි. එකපාරටම යමක් කරන්න බෑ. ඒ සම්බන්ධයෙන් නිශ්චිත වැඩසටහනක් ක්රියාත්මක කළ යුතුයි. ඒ සඳහා ඔබතුමා වැනි අයගෙන් රජයට සහාය ලබාගන්න පුළුවන්.”                                       

මෙහිදී විශ්‍රාමික කර්නල් රත්නප්‍රිය බන්දු කියා සිටියේ, තමා වසර තිහක් ශ්‍රී ලංකා යුද හමුදාවේ රාජකාරි කළ බවත් ඉන් වැඩි කාලයක් ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් කැප කළ බවයි.

ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළ ඒ මහතා කියා සිටියේ, එදා දමිළ ජනතාව තමාට දැක්වූ සෙනෙහස, විශ්වාසය නොඉවසූ ඇතැම් උසස් නිලධාරීන්ගේ ක්රියා කලාපය හේතුවෙන් තමාට නියමිත කාලයටත් පෙර හමුදාවෙන් විශ්රාම යාමට සිදු වූ බවයි.

කෙසේ වුවද ජාතීන් අතර සාමය සංහිඳියාව වෙනුවෙන් තමන් සිදු කළ වැඩසටහන අද වන විට මුළු ලෝකයම පිළි ගෙන තිබුණත් මේ වනවිටත් ජාතිවාදී ආගම්වාදී ගැටළු ඇති ශ්රී ලංකාව ඒ සම්බන්ධයෙන් උනන්දුවක් නොදැක්වීම කනගාටුවට කරුණක් බවද රජය තමාගේ සහාය බලාපොරොත්තු වන ඕනෑම අවස්ථාවක ඒ සඳහා සහාය ලබාදීමට කටයුතු කරන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

මහනුවර – කමල් සුරවීර