hit counter

2024 මැයි මස 01 වන බදාදා

2023 මැයි 02, පෙ.ව. 9:05



කළුතර පාසල් දෙකක් අතර පැවති එක් දින ක්‍රිකට් තරගයක් අවසානයේ සිසුන් අතර ඇති වු ගැටුමකින් බරපතළ තුවාල ලැබූ සිසුවෙකු රෝහල් ගතකර තිබෙනවා.

ඊයේ (01) මග්ගොන සරේ ක්‍රීඩාපිටියේ කළුතර තිස්ස ජාතික පාසල හා කළුතර මහා විද්‍යාලය අතර 13 වන වතාවට පැවති “මැංගුස් සටන” අවසානයේ එම ගැටුම සිදුව ඇති බව පොලීසිය පවසනවා.

තරගය අවසානයේ කළුතර මහ විද්‍යාලය ජයග්‍රහණය ලැබීමත් සමඟම තරගය නරඹමින් සිටි පරාජිත කළුතර තිස්ස ජාතික පාසලේ සිසුන් පිරිසක් පිටියට පැන එහි සවිකර තිබූ ක්‍රිකට් පොලු ගලවා ගැනීමට උත්සහ කිරීමත් සමඟ ගැටුම හට ගෙන තිබෙනවා.

එහිදී පහරකෑමට ලක්ව බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ කළුතර තිස්ස විදුහලේ ක්‍රිකට් කණ්ඩායමේ උප නායක හිරූෂ නෙත්සර සිල්වා නමැති සිසුවායි.

ක්‍රිකට් පිත්තකින් ඔහුගේ හිසට පහර දී ඇති බව අනාවරණය වී තිබෙනවා.

පහරකෑමට ලක් වූ සිසුවා කළුතර නාගොඩ මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර හිසෙහි විශේෂ ශල්‍යකර්මයක් කිරීම නියමිත බැවින් ඔහුව කොළඹ ජාතික රෝහල වෙත මාරු කිරීමට නියමිත බව වාර්තා වුණා.

එම ගැටුම සහ සිසුවාට පහරදීම සම්බන්ධයෙන් පයාගල පොලීසිය විශේෂ පරීක්ෂණයක් පවත්වයි.

“අද දෙරණ” වාර්තාකරු පැවසුවේ එම ගැටුම සමථයකට පත්කිරීමට එම ස්ථානයට ගිය පයාගල පොලීසියේ දූෂණ මර්දන අංශයේ  ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයාට ද පුද්ගලයෙකු විසින් පහර දී ඇති බවයි.