hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 අගෝස්‍තු 30, ප.ව. 5:01



මන්නාරම් දිස්ත්‍රීක්කයේ පිහිටි දූපත් කලපු වැලි කැනීම් සහ සුලං බලාගාර වෙනුවෙන් සුලං බල කනු ඉදිකිරීම් වහාම නවතන ලෙසත් ඉල්ලා මන්නාරම් වැසියන් විසින් ඊයේ (29) විරෝධතාවක් සංවිධානය කොට තිබුණා.

මන්නාරම් නගරයේ වෙළඳසැල් වසා දමා නගරයේ සිට මන්නාරම් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය දක්වා විරෝධය පැවති අතර ඒ සඳහා ධීවරයින්, නැවත පදිංචි වූවන්, ස්වේච්ඡා සංවිධාන, ආගමික නායකයින් මෙන්ම දේශපාලන නියෝජිතයින්ද මෙම විරෝධතාව වෙනුවෙන් සහභාගී වී සිටි බවයි ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළේ.

විරෝධතාවයේ නිරත වූවන් වැඩිදුරටත් පවසා සිටියේ, මන්නාරම් දූපත් කලපුවල තිබෙන සාරවත් වැලි කැනීම් විදෙස් රටවල විවිධ පාර්ශවයන් විසින් සිදුකරන බවටත් එමගින් ඉදිරියේදී කලපු සියල්ලක්ම විනාශ වී යාමේ අවධානමක් පවතින බැවින් එමගින් සාමාන්‍ය ජනතාවට මෙන්ම ධීවරයින්ට දැඩි බලපෑමක් එල්ල වන බවයි.

එමෙන්ම රජය විසින් මන්නාරම් මුහුදු වෙරල ආසන්නයේ භූමිය ඇතැම් ආයෝජන වෙනුවෙන් වෙන් කොට ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේදී මුහුදු වෙරල අවට පරිසරය දැඩි ලෙසින් විනාශ වන අතරම සුළං විදුලි වෙනුවෙන් ඉදි කෙරෙන විදුල බල කනු ඉදිකිරීම මගින්ද ධීවර කර්මාන්තයට මෙන්ම සාමාන්‍ය ජනතාවට දැඩි බලපෑමක් එල්ල වන බැවින් අදාල ව්‍යාපෘති වහාම නවතා දමන ලෙසට ඉල්ලා සිටියා.

විරෝධතාවය අවසානයේ විරෝධතාකරුවන් විසින් ඔවුන්ගේ ඉල්ලීම් ඇතුලත් සංදේශයක් මන්නාරම් දිසාපතිනි ස්ටෑන්ලිද මෙල් මහත්මියට භාරදීමට පියවර ගත් අතර මන්නාරම් දිසාපතිනිය විසින් අදාල ඉල්ලීම් බලධාරීන් වෙතට යොමු කිරීමට පියවර ගන්නා බවටද විරෝධතාකරුවන්ට දැනුම් දී තිබෙනවා.

වන්නි – රොමේෂ් මධුෂංඛ





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: