hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 25, ප.ව. 1:32



පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරයෙන් ඉවත්වීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා තීරණය කර තිබෙනවා.

මයන්ත දිසානායක මහතා එම තීරණය පිළිබඳව  සමගි ජන බලවේගය මහලේකම් රංජිත්  මද්දුම බණ්ඩාර මහතා වෙත ද ලිඛිතව දැනුම් දී තිබෙන බව වාර්තා වෙනවා.

මයන්ත දිසානායක මහතා තම තීරණය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිඛිතව දැනුම් දීමෙන් පසු මුදල් කාරක සභා සභාපති ධුරයෙන් නිල වශයෙන් ඉවත් වීමට නියමිතයි.

මේ අතර මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය සඳහා පත් කෙරුණු සමගි ජන බලවේගය පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පක්ෂයේ ඉල්ලීම අනුව ඒ තනතුරින් ඉවත්වීමට එකඟ නොවීම නිසා පක්ෂය තුළ මතභේදාත්මක තත්වයක් නිර්මාණය වුණා.

මුදල් කමිටුවේ සභාපති ධූරයට මයන්ත දිසානායක මහතාගේ නම යෝජනා කරනු ලැබුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින්.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එම කමිටු සභාපති ධූරය සඳහා යෝජනා කළේ සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නමයි.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් මයන්ත දිසානායක මහතාගේ නම සභාපති ධූරය සඳහා යෝජනා කළ අවස්ථාවේදී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දිසානායක මහතාට දුරකතනයෙන් කතා කර එම තනතුර බාර ගන්නේ දැයි විමසා සිට තිබෙනවා.

ඒ අවස්ථාවේදී මයන්ත දිසානායක මහතා ප්‍රකාශ කර ඇත්තේ තමා එම තනතුර බාරගන්නා බවයි.

පක්ෂය හර්ෂ ද සිල්වා මහතා එම තනතුරට පත් කිරීමට යෝජනා කර ඇති හෙයින් සභාපති තනතුරින් ඉවත් වන්නේ දැයි කිරිඇල්ල මහතා දිසානායක මහතාගෙන් මෙහිදී පෙරළා ප්‍රශ්න කර ඇති අතර ඒ  අවස්ථාවේදී එම තනතුරෙන් ඉවත් වීමට සූදානම් නැති බව මයන්ත ප්‍රකාශ කර තිබුණා.