hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 21, පෙ.ව. 9:54



ඖෂධ සපයන ලද සමාගම් සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය රුපියල් බිලියන 50කට ආසන්න මුදලක් නොගෙවීම හේතුවෙන් නැවතත් දැවැන්ත ඖෂධ හිඟයක් ඇති වීමේ අවදානමක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව ඊයේ (20) පැවසුවා.

පසුගිය කාලසීමාවේ මෙරටට ගෙන්වන ලද ඖෂධවලට අදාළ හිඟ බිල්පත් නොගෙවීම, ගෙන්වන ඖෂධවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවීම හේතුවෙන් සෞඛ්‍ය සේවය බරපතළ අර්බුදයකට ලක්ව ඇති බව ද හෙතෙම සඳහන් කළා.

ඉන්දීය ණය ආධාර ව්‍යාපෘතිය යටතේ ලැබෙන ඖෂධ නොමැති නම් සමස්ත රෝහල් පද්ධතිය ම කඩා වැටෙන බවද ඔහු පැවසුවා.

රුපියල් බිලියන හතළිහකට ආසන්න හිඟ බිල්පත් නොගෙවීම නිසා මුදල් නොමැති තත්ත්වයකදී ඖෂධ ගෙන්වාගැනීමේ දුෂ්කරතාවක් පවතින බවත් මෙතරම් විශාල හිඟ බිල්පත් ප්‍රමාණයක් නිර්මාණය වන තුරු නිසි පරිදි මූල්‍ය කළමනාකරණය නොකිරීම සැකකටයුතු බවත් ඔහු සඳහන් කළා.

මේ කාර්යයන් සඳහා වගකිව යුතු දේශපාලකයන් හා නිලධාරීන් සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගැනීම බදු ගෙවන ජනතාවට විශාල අසාධාරණයක් බව ද ඔහු පැවසුවා.

පසුගිය කාලසීමාවේදී ගෙන්වන ලද රුපියල් බිලියන 5කට අධික ඖෂධ ගුණාත්මකභාවයෙන් අඩු වීම නිසා විනාශ කිරීමට සිදුව ඇති බව විගණන වාර්තා මගින් අනාවරණ කර ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.