hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 24, පෙ.ව. 11:44



ලංකාවේ බෝ නොවන රෝග දඩමීමා කරගෙන පාරම්පරික හා දේශීය වෛද්‍යවරුන්ගේ පෙළපත් නාම භාවිත කරමින් ජනතාවගෙන් මුදල්  ලබාගන්නා ජාවාරම් පිළිබඳව වහා පරීක්ෂණයක් පවත්වන්නැයි පාරම්පරික හොරිවිල වර්තමාන  වෙදැදුරු ශාන්ත සෙනෙවිරත්න මහතා රජයෙන් ඉල්ලීමක් කර සිටිනවා.

ලෝකය පුරා   ශීඝ්‍රයෙන් බෝ නොවන රෝග පැතිර යන වකවානුවක විශාල වශයෙන් මේ වන විට ලංකාවද ඊට ගොදුරු වී තිබෙන බවත් මෙම බෝ නොවන රෝග සිදුවන ආකාරය මෙන්ම ඊට නිසි විසදුම් සෙවීම් ආදී පරීක්ෂණ කටයුතු සිදුකළ යුතු බවද හෙතෙම සඳහන් කළා.

මේ වන විට රටේ ජනතාවට දණහිස් අමාරුව, කොන්දෙ අමාරුව, අත්පා රුදාව, ඇටමිදුලු දියවීම ආදී රෝග පවතින බවත් හෙතෙම සඳහන් කළේය. මෙම රෝග තත්ත්වයන් මුල්කරගෙන පාරම්පරික හා දේශීය වෛද්‍යවරුන්ගේ පෙළපත් නාම භාවිත කරමින් ව්‍යාජ වෙදමහතුන් ලෙස පෙනී සිටින පිරිස් අන්තර්ජාලය හරහා මෙන්ම විවිධ උපක්‍රම භාවිත කරමින් ජනතාවට ඔෟෂධ ලබාදී මුදල් ඉපයීම පිළිබඳ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුකළ යුතු බව ශාන්ත සෙනෙවිරත්න මහතා පෙන්වා දෙනවා.

විශේෂ  මාධ්‍ය හමුවක් හොරිවිල පාරම්පරික වෙද මැඳුරේ පවත්වමින් ශාන්ත සෙනෙවිරත්න මහතා මෙසේද පැවැසුවා.

“ලෝකයේ බොහෝ රටවල් බෝ නොවන රෝග ව්‍යාප්ත වෙමින් පවතිනවා. ලංකාව ගත්තහම බොහෝ දෙනකුට පවතින ලෙඩක් තමයි කොඳු අමාරු. දැන් ඒක තරුණ පිරිසට විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා. මට දැනෙන විදිහට 40%ක පමණ තරුණ තරුණියන්ට කොඳු අමාරු වූ පවතිනවා. ඒ වගේම උකුල්ඇට දිරීමේ රෝගය  රටපුරා ජනතාවට පවතිනවා. ඒව වගේම තමයි දණහිස් ගෙවීම පවතිනවා. ඉස්සර දණහිස් ගෙවුණේ වයස අවුරුදු 60ක් ඉක්මවූ අයට. දැන් ඒක තරුණ තරුණියන්ට පවා පවතිනවා. ඒ වගේම වාත ඛණ්ඩය උදෑසන අවදිවන විට විළිම්බු හිරිවැටීම, රිදීම ආදී ලෙඩ. ඒවගේම තමයි සිරුරේ මාංස  පේශි දියවීමේ රෝගයත් පවතිනවා.

මේකට ප්‍රතිකාර සොයා ගන්නත් නැහැ. හැබැයි පාලනය කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි උරහිස් උස්සන්න බැහැ. ඒ වගේම තමයි කැල්සියම් බැඳීම්, පිළිකාව, වකුගඩු ආදී විශාල වශයෙන් පවතිනවා. රෝග වැල‍ෙදන්නේ කොහොමද, මේක වළක්වා ගන්නේ, ඒ වගේම තමයි මේකට හේතුව මොකක්ද, අපි දේශීය වෛද්‍යවරුන්, පාරම්පරික වෛද්‍යවරුන්, බටහිර වෛද්‍යවරුන් එකතුවෙලා මේක කඩිනමින් සොයා බැලිය යුතුයි. එහෙම නැති වුණොත් ඉදිරියේදී මුළු රටටම මේ රෝගවලට මුහුණදෙන්න වෙන්නේ.

රෝග දඩමීමා කරගෙන ඉතා සූක්ෂ්ම ලෙස ව්‍යාජ වෙද මහත්වරු බිහිවෙලා ඉන්නවා. දැන් අන්තර්ජාලය හරහා ඒවා විකුණලා  ජනතාව  ලෙඩ කරනවා. සම්පූර්ණ තට්ටේ තියෙන මිනිස්සු අනිත් මිනිස්සුන්ගේ කොණ්ඩෙ වැවෙන්න තෙල් විකුණනවා. පාරම්පරික හා දේශීය වෛද්‍යවරුන්ගේ ඥානය ලබාගෙන ඇති බව ප්‍රකාශ කරමින් පාරම්පරික නාමයන් භාවිත කරමින් අසරණ  ජනතාව සූරා කන මේ ජාවාරම වහාම රජය මැදිහත් වී නවතා දැමිය යුතුයි.

 ඒ අයට දඬුවම් ලබා දිය යුතුයි. මේ රටේ වනාන්තර පද්ධතිය විනාශ කිරීමත් එක්ක ඔෟෂධ හිඟය පවතිනවා. අපේ දේශීය හා පාරම්පරික වෛද්‍යවරුන්ට අද ඔසු උයනක් නැහැ. මේවා සෑම බලධාරියකුම දැනුවත් කළා. විසඳුමක් හම්බවෙලා නෑ. අඩුම තරමේ මේ ජනතාව සූරා කන හොර වෙද්දු ගැන සොයා බලන්න. අද ලංකාවේ ලෙඩ්ඩුන්ට වැඩිය ඉන්නේ වෙද්දු. අපේ පාරම්පරික හොරිවිල වෙද පරම්පරාවත්  ඒ වගේම තැන තැන ලංකාව පුරා පවතිනවා. අඩුම තරමේ අපේ වෙද ගෙදර ඇවිල්ලවත් නැති මිනිස්සු  හොරිවිල කියන නම භාවිත කරලා ජනතාව රවට්ටනවා. ජනනතාවට බෙහෙත් කවනවා කියන්නේ වහ කවන එක නෙවෙයි. ඒ නිසා වහාම මේ පිළිබඳව රජය සොයා බලන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒ වගේම පාරම්පරික හා දේශීය වෛද්‍යවරු මෙම ජාවාරමට විරුද්ධව දැන් එක්වෙලා නැඟීසිටිය යුතු කාලය එළැඹිලා තියෙන්නේ.”