hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 01, පෙ.ව. 11:33



නිසි සොයා බැලීමකින් තොරව ආරම්භ කරන ව්‍යාපෘති හේතුවෙන් මහජන මුදල් අපතේ යෑම් කොතෙකුත් අසන්නට දකින්නට ලැබෙනවා. මීගහකිවුල ප්‍රාදේශීය සභාව මගින් කලුගහකදුර බෝගස්තැන්න ඇල්ලන්ද මංසන්දියේ ඉදිකරන ලද සතිපොල ද එවැන්නක්.

2011.09.30 වන දින රුපියල් හත්ලක්ෂ අසූඑක්දහස් පන්සිය හතලිස් දෙකක (781542.00) ඇස්තමේන්තුගත මුදලකින් වැඩ ආරම්භ කර ඉදිකරන ලද බෝගස්තැන්න සතිපොල ඉදිකලදා සිටම කිසිදු ප්‍රයෝජනයකට නොගෙන කැලෑවට යටවී විනාශ වෙමින් පවතින බව ප්‍රදේශවාසීන් පවසනවා.

යකඩ බට සහ තහඩු යොදා ඉදිකර ඇති සතිපොල මේ වන විට ඝණ කැලෑවෙන් වැසී ගොස් තිබෙන අතර රාත්‍රී කාලයේදී මෙම ස්ථානයේ විවිධ නොමනා ක්‍රියාකාරකම් සිදුවන බවත් අයාලේ යන ගවයින්ගේ ලැගුම්හලක් බවට පත්ව ඇති බවත් ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.

බෝගහතැන්න හා ඒ අවට ගම්මානවල විශාල පිරිසක් කෘෂි නිෂ්පාදන අලෙවි කරනු ලබන්නේ මෙම සතිපොලට මදක් දුරින් කලුගහකදුර ඇල්ලන්ද මාර්ගයේ අනාරක්ෂිත බිම් තීරුවකයි. එම ස්ථානයේ එකදු ස්ථිර ගොඩනැගිල්ලක් හෝ නොමැති අතර අව් වැසි වලින් වෙලෙන්දන් නිරන්තරයෙන් පීඩා විදිනවා.

මෙවන් දුෂ්කරතා තිබියදීත් සතිපොල සදහා ඉදිකල ගොඩනැගිල්ල ජනතාවගේ භාවිතයට ගැනීමට මීගහකිවුල ප්‍රාදේශීය සභාව කටයුතු නොකිරීම විමතියට කරුණක් බවයි ජනතාව පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ සභාපති ලලිත් ජයවර්ධන මහතා

“මෙය අතිශය අසාර්ථක ව්‍යාපෘතියක්. මෙය ඇත්තටම පහුගිය ප්‍රාදේශීය සභා පාලන කාලයේදී ඉදිකල අසාර්ථක ව්‍යාපෘතියක්. මේ වන විට සතිපොල ගොඩනැගිලි කිසිදු ප්‍රයෝජනයකට නොගෙන කැලෑවට යටවී තිබෙන බව මම පිළිගන්නවා. අවම තරමින් මෙහි එකදු සති පොලක්වත් පවත්වා නැහැ.

කොහොම වුනත් පිටමාරුව, මීගහකිවුල, තල්දෙන, කරමැටිය හා අවට තවත් සති පොලවල් තිබෙන නිසා මෙතනට වෙළදුන් වගේම පාරිභෝගිකයින් පැමිණෙන්නේ නැහැ. ඒ නිසා මෙම ගොඩනැගිල්ල මෙතැනට කිසිසේත්ම අවශ්‍ය වන්නේ නැහැ. මෙය කිසිදු වැදගැම්මකට නැති වැඩක්. නමුත් රජයේ දේපල මෙසේ විනාශ වෙන්නට දී බලා ඉන්නට බැහැ. මේ සදහා යම් සාධනීය කටයුත්තක් ඉදිරියේදී කිරීමට මා බලාපොරොත්තු වනවා.” යැයි ඔහු කියා සිටියා.

බදුල්ල – ජයලත් දිසානායක